අලුත් පාස්පෝට් මුද්‍රණයට සල්ලි අච්චු ගහන සමාගම තෝරා ගනී

    December, 21, 2017

    අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත නව විදේශ ගමන් බල පත්‍රයක් සකස් කිරීම සඳහා දැන් කටයුතු කරගෙන යන බවත් ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙම ගුවන් ගමන් බල පත්‍රය 2018 වසරේ අගභාගය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා පවසයි.

    නව ගුවන් ගමන් බල පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇත. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකම මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ ද මෙම සමාගම විසිනි.

    මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ සාධ්‍යතා වාර්තා සකස් කරමින් පවතී. එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු එය කැබිනට් මණ්ඩලය අනුකමිටුවකට යොමු කෙරේ. අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු නව ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම ආරම්භ කරනු ඇතැයි ද රණසිංහ මහතා පැවසූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය අනාවරණය කර සිටී.

    මෙහි සාධ්‍යතා වාර්තාව සකස් කිරීමේ කටයුතු පසුගිය සදුදා (18) ආරම්භ කළ බව ද ඒ මහතා කීය.

    මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දිනකට මගීන් 15,000කගේ පමණ ආගමන විගමන කටයුතු සිදුකෙරෙන අතර ඒ සඳහා වැඩිපුර නිළධාරීන් යොදවා එම කටයුතු කඩිනමින් හා පහසුවෙන් ඉටුකිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.

    එමෙන්ම විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපොළේදීම වීසා නිකුත් කිරීමේ (online) වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර එය දෙපාර්තමේන්තුවට වැඩි ඵලදායිතාවයක් ලැබෙන අන්දමට යළි සකස් කිරීමට පියවර ගනිමින් තිබෙන බවද ණසිංහ මහතා තවදුරටත් පැවැසීය.