අලුත් බිස්නස් ගැන වෙල්ගම මෙසේ කියයි

    February, 13, 2017

    පොඩි රථවාහන සඳහා වූ බදුවල සංශෝධන හේතුවෙන් එම ක්ෂේත්‍රයට විශාල ප්‍රහාරයක් එල්ල වී ඇති බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ පවතින තත්ත්වය තුළ නව උපක්‍රම කෙරෙහි අවදානය යොමු කළ යුතු බවයි.

    “අපේ ක්ෂේත්‍රෙය්, විශේෂයෙන්ම පොඩි ට්‍රක් රථවලට විශාල ප්‍රහාරයක් මෙම බදු වැඩිවීම හරහා එල්ල වූ බව කිව යුතුයි. ඒවායේ බදු දෙගුණයකටත් වඩා වැඩි වුණා. මිනිසුන්ට දරාගන්න බැරි මට්ටමට මේවායේ මිල වැඩිවෙලා තිබෙනවා. එවැනි තත්ත්වයත් තුළ අපගේ ව්‍යාපාර බර වාහන සහ ඉදිකිරීම් වාහන දක්වා විවිධාංගීකරණය කරන්න කටයුතු කළා. එම වාහන සඳහා විශාල තීරුබදු අයකිරීමක් සිදුවන්නේ නැහැ. එසේම ඒවාට සියයට 90 ක් දක්වා කල්බදු පහසුකම් ලබා ගන්න පුළුවන්. ත්‍රීවීල් සඳහා ලබාදෙන කල්බදු අනුපාතය සියයට 25 ක් දක්වා අඩුකිරීම නිසා එම කර්මාන්තය තරමක් අසීරු තත්ත්වයට පත්ව තිබෙනවා. එම නිසා ඉදිරියේ දී වෙනත් උපක්‍රම කෙරෙහි යොමු විය යුතු වෙනවා.“

    අයිඩියල් මෝටර්ස් සමාගම පසුගියදා නව ව්‍යාපාර ක්ෂේත්‍ර තුනකට අවතීර්ණ වූ අතර ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම සමග එක්ව මෙරට තුළ බස්-ට්‍රක් රථ, ඉදිකිරීම් වාහන හා ඩීසල් ජෙනරේටර්ස් අලෙවිය ආරම්භ කරන ලදී.

    නලින් වෙල්ගම මහතා අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපතිවරයා වන අතර සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා එහි උප සභාපතිවරයා වේ.