අවම මහජන පංගුවට කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සූදානම්

    August, 25, 2016

    කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි මවු සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 413, 408 ක් අද දිනයේ දී කොළඹ කොටස වෙළෙඳපොළේ දී අලෙවි කරනු ලැබීය. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 2% කි. මෙහිදී එක් කොටසක් අලෙවි කරන ලද්දේ රු. 160.00 බැගිනි.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් පරිදි ලැයිස්තුගත සමාගමක අවම මහජන කොටස් පංගුව, සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 20% ක් විය යුතු බවට නිර්දේශ කර තිබේ. මේ අනුව කොටස් වෙළෙඳපොළේ ද්විතීයික ගනුදෙනු සඳහා අවම වශයෙන් සමාගමක කොටස් ප්‍රාග්ධනයෙන් 20% ක් නිදහස්ව පැවතිය යුතුය.

    2016 ජූනි 30 වන දිනට කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් හි සමස්ත ප්‍රාග්ධනයෙන් 74.94% ක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව ද, 10.09% ක් ජෝන් කීල්ස් පීඑල්සී සතුව ද, 4.86% ක් වෝකර්ස් ටුවර්ස් සතුව ද පැවතිණි. මේ අනුව අවම මහජන පංගුව පවත්වා ගැනීම සඳහා සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් විසින් සිය කොටස් හිමිකාරීත්වය අවම කරලීමේ අවශ්‍යතාවය තවදුරටත් පවතී.

    සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නියමයන්ට අනුව 20% ක අවම මහජන පංගුව නඩත්තු කිරීමේ තීරණයට එකඟ නොවීම මත ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම පසුගිය කාලයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරනු ලැබීය.