අවුරුදු ජයයි. ක්‍රීඩකයෙකුට ලක්ෂ 250 ක ඉතිහාසගත මුදලක් ලැබෙන හැඩ

    April, 13, 2014

    මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම මුදල මෙයයි

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන විශාලතම ත්‍යාග මුදල පිරිනැමීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා කියයි.

    අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ දින 30 ක් පුරා පැවති මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගීවූ ක්‍රීඩකයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදලක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදෙන ඩොලර් මිලියන 1.5 ක මුදල, තරග ජයග්‍රහණය කිරීම නිසා ලැබෙන ඩොලර් මිලියන 1.1 ක මුදල සහ තරග ගාස්තු වෙනුවෙන් ලබාදෙන ඩොලර් 200,000 ක මුදල සමග තරගාවලියට නම්කළ ක්‍රීඩකයින් 15 දෙනා සඳහා හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම ඩොලර් මිලියන 2.8 ක් පමණ වේ.

    “මේවා බෙදාගන්න ආකාරය තීරණය කරන්නේ කණ්ඩායම විසින්. සාමාන්‍යයෙන් සමානුපාතිකව බෙදා ගැනීම තමයි වෙන්නේ. 1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේදී අපේ කණ්ඩායමට මෙතරම් ත්‍යාග මුදලක් ලැබුණේ නෑ. මේ නිසා, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේදී ක්‍රීඩකයෙකුට ලැබෙන විශාලතම ත්‍යාග මුදල මෙයයි.“

    යනුවෙන් මොහොමඩ් මහතා අප සමග පැවසීය.

    මෙම තරගාවලියට සහභාගී වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබෙන මුදල ඩොලර් මිලියන 8.9 කි.