‘අසීරු’ 2019 වසර අවසානයේ කොමර්ෂල් බැංකු සමූහයේ ආදායම රුපියල් බිලියන 150 සංධිස්ථානය පසුකරයි

    March, 3, 2020

    • රුපියල් බිලියන 819 ක් රජයට බදු ලෙස ගෙවයි
    • හානි පූරණ ගාස්තු රුපියල් බිලියන 3 ක් සහ ණය නැවත ගෙවීමේ බදු රුපියල් බිලියන 2.5 ක්වීම සෘණාත්මකව බලපායි
    • සමස්ත වත්කම් රුපියල් ටි‍්‍රලියන 4 ක් දක්වා ඉහළට
    • බැංකු අංශයේ හොඳම තැන්පතු වර්ධනය වන 5% ක තැන්පතු වර්ධනයක් ලබාගනිමින් තැන්පතු ටි‍්‍රලියන 1.069 ක් දක්වා ඉහළට

    රටට සහ බැංකුවට අසීරු වසරක් වූ 2019 මූල්‍ය වසර සඳහා කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම පළමු වරට රුපියල් බිලියන 150 සංධිස්ථානය පසු කිරීමට සමත් වූ අතර, එම වසරේදී බැංකුවට ණය වෙනුවෙන් හානි පූරණය සඳහා වෙන්කළ යුතු ගාස්තු වැඩිවීම සහ ණය නැවත ගෙවීමේ බද්ද (DRL) නිසා ලාභ දර්ශකයන් පහළ යෑමක් වාර්තා කිරීමට සිදු විය.

    කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන සමන්විත කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම 7.94%කින් වර්ධනය වී 2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය සඳහා රුපියල් බිලියන 150.741 ක් වූ අතර පොලී ආදායම රුපියල් බිලියන 10.763 කින් හෙවත් 9.06% කින් වර්ධනය වී රුපියල් බිලියන 129.288 ක් විය.

    මෙම වසරේදී හානි පූරණ ගාස්තු වෙන්කිරීමට පෙර තම මෙහෙයුම් ආදායම 4.35% කින් වර්ධනය වී රුපියල් බිලියන 67.687 ක්වූ බව සමූහය කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබේ. 2019 මූල්‍ය වසරේදී හානි පූරණ ගාස්තු රුපියල් බිලියන 2.498 කින් හෙවත් 28.28% කින් රුපියල් බිලියන 11.332 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ණය නැවත ගෙවීමේ බදු රුපියල් බිලියන 1.819 කින් රුපියල් බිලියන 2.469 ක් දක්වා මෙම කාල සීමාවේදී වර්ධනය වී ඇත. මෙම තත්ත්වය සමූහයේ බදු වලට පෙර ලාභය 11.93% කින් රුපියල් බිලියන 22.984 ක් දක්වා අඩුවීමට හේතුවිය.

    කෙසේවෙතත්, සමූහයේ බදු වලට පසු ලාභය 2019 වසරේදී අඩුවී තිබෙන්නේ 2.48% කින් වන අතර එම අගය රුපියල් බිලියන 17.420 ක්වී ඇත. මෙයට විශාල වශයෙන් හේතුවී තිබෙන්නේ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය ගත් තීන්දුව නිසා ආදායම් බදු මෙම කාලයේදී 32.45% කින් අඩු වීමයි.

    මේ අතර, මෙම කාල සීමාව තුළදී කොමර්ෂල් බැංකු සමූහය ආයතනික බදු ලෙස රුපියල් බිලියන 12.819 ක් රජයට ගෙවා තිබෙන අතර මෙය සමූහයේ බදු වලට පෙර ලාභ වලින් 42% ක ප‍්‍රමාණයකි. කෙසේවෙතත්, බැංකුව 2012 වසරේදී සිට කොටසකට අදාළ ප‍්‍රතිලාභය එළෙසට පවත්වාගෙන යාමට සමත්ව තිබේ.

    ගෙවුණු වසරේදී බැංකු කර්මාන්තයේ මිශ‍්‍ර ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘බැංකුවක් විසින් සිය කාර්යසාධනය මගින් පෙන්වන්නේ වෙළඳපොළේ තිබෙන සැබෑ ස්වරූපයයි. නමුත්, මෙහිදී වැදගත් වන්නේ වෙළඳපොළේ තිබෙන අභියෝගයන් ජයගනිමින් බැංකුවක් ඉදිරියට යන ආකාරයයි. අපගේ ලාභය අඩුවීමට ප‍්‍රධානතම හේතුව වී තිබෙන්නේ රජයේ බදු සහ ප‍්‍රතිපාදන විශාල ලෙස වැඩිවීමයි. සියළුම මෙහෙයුම් දර්ශක අනුව බැලූවිට මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය ජයගනිමින් මෙම මූල්‍ය වසර අවසානයේදී බැංකුව තවත් ශක්තිමත් සහ ස්ථාවර වී තිබෙනවා.’

    මෙහිදී, අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ සලකා බැලූ මූල්‍ය වසරේදී අභියෝගයන්ට මුහුණ දීමට අරමුදල්, ද්‍රවශීලතා කළමනාකරණය සහ මූල්‍ය ප‍්‍රාග්ධන කළමනාකරණය විශාල කාර්ය භාරයක් ඉටුකළ බවයි. ‘ණය ප‍්‍රසාරණය සඳහා යහපත් පරිසරයක් නොමැති විට බැංකුව අතිරික්ත ද්‍රවශීලතාවය රජයේ රුපියල් සහ විදේශ මුදල් සුරැකුම්පත්වල ආයෝජනය කළා,’ යනුවෙන් ඔහු පැවසීය. ‘මේ ආකාරයෙන්ම බැංකුව විසින් ප‍්‍රාග්ධනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට සමත්වුණා. වසර අවසන් වනවිට 2020 දී බලාපොරොත්තු වන වර්ධනය සපුරාලිය හැකි ප‍්‍රාග්ධන පදනමක් බැංකුව සතු වෙනවා.’

    මෙම මූල්‍ය වසර තුළදී සමූහයේ සමස්ත වත්කම් රුපියල් බිලියන 89 කින් හෙවත් 6.75% කින් 2019 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් ටි‍්‍රලියන 1.409 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය මාසයකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 7.4 ක වර්ධනයකි.

    2019 මූල්‍ය වසර තුළදී දළ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 32.782 කින් හෙවත් 3.65% කින් වර්ධනය වී රුපියල් බිලියන 930.737 ක්වී තිබෙන අතර ගනුදෙනුකරුවන්ට දුන් ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 26.307 කින් හෙවත් 3.03% කින් වර්ධනය වී 2019 වසර අවසන් වනවිට රුපියල් බිලියන 893.919 ක්වී ඇත.

    මේ අතර, 2019 දෙසැම්බර් 31 වනදා වනවිට සමස්ත තැන්පතු 7.5% කින් හෙවත් රුපියල් බිලියන 74.611 කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 1.069 ක්වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මසකට රුපියල් බිලියන 6.2 කට වඩා වැඩි වර්ධනයකි. බැංකුව සඳහන් කරන්නේ මෙම කාල සීමාව තුළදී අනිකුත් බැංකු වලට සාපේක්ෂව කොමර්ෂල් බැංකුව මෙම අංශයේ හොඳම වර්ධනය වාර්තා කර තිබෙන බවයි.

    මෙම කාල සීමාව තුළදී සමූහයේ සමස්ත මෙහෙයුම් වියදම 9.37% කින් රුපියල් බිලියන 26.125 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් මූල්‍ය සේවා වලට බදු අයකිරීමට පෙර මෙහෙයුම් ලාභය 5.96% කින් අඩුවී රුපියල් බිලියන 30.230 ක්වී ඇත. මූල්‍ය සේවා මත බදු රුපියල් බිලියන 7.256 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය 19.89% ක වර්ධනයකි. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ 2018 එක් කාර්තුවක් සඳහා ගෙවූ රුපියල් මිලියන 650 ක්වූ ණය නැවත ගෙවීමේ බදු 2019 මුළු වසර සඳහා රුපියල් බිලියන 2.469 ක් දක්වා වර්ධනය වීමයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නම වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර 2020 වසරේදී සියවස සමරනු ලබයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී බැංකුව ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.