අළුත් රැකියා ලක්ෂයක් දීමට සූදානම්. මෙන්න! අයදුම් කරන විදිහ

    September, 2, 2015

    මෙරට ඉදිකිරීමේ කර්මාන්තයේ තිබෙන උග්‍ර පුහුණු ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස 2020 වසර වනවිට ලක්ෂයක් දෙනා පුහුණු කර රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමයේ (National Construction Association of Sri Lanka) සභාපති, සුනිල් ලියනාරච්චි මහතා සඳහන් කරයි.

    මේ අනුව, කඩිනමින් 10,000 ක් දෙනා මෙම පුහුණුව සඳහා බඳවා ගන්නා බවත් පුහුණුවෙන් පසුව ඔවුන්ට අනිවාර්යෙන්ම රැකියාවක් ලබාදෙන බවත් ලියනාරච්චි මහතා අප සමග පැවසීය.

    “මෙම පුහුණුව මාස 04 යි. ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශ 15 ක් යටතේ මෙම පුහුණුව ලබාදෙනවා. දිවයින පුරා පිහිටි ග්‍රාම සේවක කොට්ඨාස 14,000 ආවරණය වන පරිදි පුහුණුව සඳහා සාමාජිකයින් බඳවා ගන්නවා.“

    යනුවෙන් ලියනාරච්චි මහතා කීය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 0112- 786326 සහ 0112- 786325 යන දුරකතන අංක වලට කතාකර මෙම පුහුණුව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි.

    මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යංශය, ඉදිකිරීම් අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ වී සිටී.

    “මෙම පුහුණු වැඩසටහන යටතේ ප්‍රමාණ සමීක්ෂණ (quantity surveyor), ඉංජිනේරු (Engineer) වැනි පුහුණු වීම් ලබාගැනීම සඳහා බැංකු මගින් අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීමද අපි විසින් කරනවා. මෙම අංශ සඳහා ඉහළ වැටුපක් ලබාගත හැකියි.“ යනුවෙන් ජාතික ඉදිකිරීමේ සංගමයේ සභාපතිවරයා කීය.

    ඉදිකිරීම් කර්මාන්තය මෙරට වේගයෙන් වර්ධනය වන අංශයක් වන අතර අවශ්‍ය තරම් පුහුණු ශ්‍රමය සපයා ගැනීමේ ගැටලුවකට මේ වනට මුහුණ දී සිටී.

    එක්සත් ජාතික පෙරමුණ විසින් පසුගියදා සඳහන් කළේ අළුතින් රැකියා ලක්ෂ 10 ක් ඇති කිරීමට තම රජය සූදානම් බවයි.