ආචාර්ය කුමාරස්වාමි මහ බැංකු අධිපති තනතුරට සමුදීමට තීරණය කරයි

    November, 25, 2019

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 2019 ජනාධිපතිවරණයට පෙර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත. පෞද්ගලික හේතූන් මත ඔහු සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද දෙරණ Biz වෙත වැඩිදුරටත් වාර්තා වේ.

    2016 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩි භාර ගනු ලැබීය.

    කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත 2017 වසරේ දී The Global Capital Markets විසින් ‘දකුණු ආසියාවේ මහ බැංකු අධිපතිවරයා‘ සම්මානය ප්‍රදානය කරනු ලැබීය.

    මෙම වසරේ අගෝස්තු මාසයේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

    “දේශමාන්‍ය” යනු ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිවිල්  පුරවැසියන් වෙත පුද කෙරෙන දෙවන උසස් ම සම්මානයයි.

    එළඹෙන දෙසැම්බර් 20 දින මහ බැංකු අධිපතිවරයා සිය තනතුරට සමුදීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 නොවැම්බර් 29 දින නිකුත් කිරීමට නියමිතය. මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා එදින පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුව බොහෝ දුරට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මහ බැංකු අධිපතිවරයා ලෙස එක්වන අවසාන මාධ්‍ය හමුව වනු ඇත.