ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි

    August, 14, 2018

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ඊයේ (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.

    මෙම වාර්තාවලට අනුව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 417.19 සිට රු. මිලියන 411.25 ක් දක්වා 1.4% කින් සුළු පසුබැස්මක් වාර්තා කර තිබේ. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කරුණ නම් සමූහයේ ආදායම් බදු වියදම රු. මිලියන 65.35 සිට රු. මිලියන 138.98 ක් දක්වා 112.7% කින් පසුගිය කාර්තුව තුළ දී ඉහළ ගොස් තිබීමයි. මේ අතර සමූහයේ ආදායම රු. බිලියන 3.01 සිට රු. බිලියන 3.14 ක් දක්වා 4.5% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.‍

    ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 44.39% කට හිමිකම් කියනු ලබන්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසිනි.

    මේ අතර ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් 78.39% ක කොටස් හිමිකමක් දරනු ලබන තවත් ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාව ද මේ වන විට ප්‍රකාශයට පත් වී ඇත.

    ඊට අනුව ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී හි ආදායම රු. මිලියන 803 සිට රු. මිලියන 779 ක් දක්වා 3% කින් පහත බැස තිබේ. කාර්තුව අවසානයේ දී බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 52.70 ක් ලෙසින් සටහන් වන අතර 2017 ජූනි කාර්තුවේ බදු පසු ලාභ අගය වූ රු. මිලියන 81.87 හා සැසඳීමේ දී මෙය 35.6% ක පහළ යාමකි.

    එසේම මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම් බදු වියදම ද රු. මිලියන 27.45 සිට රු. මිලියන 54.25 ක් දක්වා 97.6% කින් ඉහළ ගොස් තිබේ.