ආදායම ලක්ෂ 12 ට අඩුනම් ආදායම් බදු නැහැ – මුදල් ඇමති කියයි

    August, 21, 2017

    රට තුළ රුපියල් ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයින් ආදායම් බදුවලින් බැහැර කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නව ‍දේශීය ආදායම් පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

    මෙහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.

     

    මේ සමස්ත රටේ වියදම දරන්නේ 80% ක් වක්‍ර බදු ගෙවන සාමාන්‍ය ජනතාව. පොහොසත් ව්‍යාපාරිකයෙක්, දොස්තර කෙනෙක්, ටියුෂන් මාස්ටර් කෙනෙක්, නීතිඥයෙක් වේවා මේ හැම කෙනෙක්ම යම් භාන්ඩයක් ගන්න කොට ගෙවන බද්ද හා සමාන බද්දක් අහිංසක දුප්පත් කම්කරුවත් ගෙවනවා. මේ තත්ත්වය වෙනස් කර ගන්න සෘජු බදු අය කිරීමේ ප්‍රතිශතය වැඩි කරලා සාමාන්‍ය ජනතාව මත පැනවෙන වක්‍ර බදු බර අඩු කරන්න තමයි මුදල් අමාත්‍යාංශයේ අපේ ප්‍රධාන ඉලක්කය.

     

    දැනට 80-20 ට තියෙන අනුපාතය 60-40 දක්වා මීළඟ වසර කිහිපය තුළ දී අඩු කරන්න.

     

    මේ ඉලක්කය ඇතුව තමයි සිකුරාදා පාර්ලිමේන්තුවේ දී නව ආදායම් බදු පනත ඉදිරිපත් කරනවා. මේ රටේ මෑතක දී ගෙනෙන්නා ලද පනත්වලින් වැදගත් පනතක්.

     

    සාමාන්‍ය ජනතාවට ඇති ආර්ථික අපහසුතා අවම කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන මෙම ආදායම් බදු පනත තුලින් වක්‍ර බදුවලින් තෙරපිලා සිටින සාමාන්‍ය ජනතාව ඉන් මුදවා ගැනීමට අපි කටයුතු කරනවා.

     

    ඒ නිසා අපි දේශීය ආදායම් පනතට අදාළ මූලික කෙටුම්පත පසුගිය මාස කිහිපය තුළ ඉතාමත් ගැඹුරින් අපි අධ්‍යයනය කරලා, ශ්‍රේෂාඨාධිකරණය විසින් ද නිර්දේශ කරන ලද සංශෝධනත් ඇතුළත් කරලා, තවත් සංශෝධන 111 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත මේ පනත සිකුරාදා අපි ඉදිරිපත් කරනවා.

     

    මේ තුළින් මේ රටේ ලක්ෂ 12 ට අඩුවෙන් ආදායම් ලබන කිසිම පුද්ගලයෙකුට ආදායම් බදු ගෙවන්න වෙන්නෙත් නැහැ. ඒ වගේම මං කිව්වා වගේ ආදායම් බදු නොගෙවන අයට දීර්ඝ කාලීනව වක්‍ර බදු අඩුවෙමින් තව තවත් සහන ලැබනෙවා.

     

    රටට ආදරය කරන ආදායමක් ලබන කිසිවෙක් මේ පනතට විරුද්ධ නොවන බව මා විශ්වාස කරනවා.

     

    මේකට විරුද්ධ වුණොත් විරුද්ධ වෙන්නේ කළු සල්ලිවලින් යැපෙන දේශපාලන කණ්ඩායම් විතරයි.

     

    නිර්ධන පංතිය ගැන කල්පනා කරන කිසිම පුද්ගලයෙක්, අහිංසක ජනතාවගේ ජීවන වියදම අඩුකරන්න ඕනේ කියල කල්පනා කරන පුද්ගලයෙක්ට මේ පනතට විරුද්ධ වෙන්න බැහැ.