ආන්දෝලනාත්මක “පෝර්ට් සිටි“ ව්‍යාපෘතියේ ඉරණම විසඳෙන්නේ මෙහෙමයි

    February, 19, 2015

    චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඩොලර් බිලියන 1.6 ක පමණ ආයෝජනයකින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ “පෝර්ට් සිටි“ හෙවත් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සහ එම පරීක්ෂණයේදී හෙළිදරව් කරගන්නා කරුණු අනුව මෙම ව්‍යාපෘතිය සිදුකිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    මෙම ව්‍යපෘතියේ යෝග්‍යතාවය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා රජය විසින් පත්කර තිබෙන විශේෂඥ කමිටුවේ සභාපති ධුරය අජිත් ද කොස්තා මහතා දරණ අතර මහාචාර්ය රුචිර කුමාරතුංග, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය අනිල් ප්‍රේමරත්න, මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි, චන්න ප්‍රනාන්දු සහ ඒ. එස්. ඔබේසේකර සහ සුනිලා ජයවර්ධන මහත්මිය මෙම කමිටුවට ඇතුළත් වේ.

    මෙම විශේෂඥ කමිටුවේ වාර්තාව අධ්‍යනය කර අවශ්‍ය තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානීත්වය දරණ කැබිනට් අනුකාරක සභාවක්ද පත්කර තිබේ.

    අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විශේෂඥ කමිටුව සහ අනුකාරක සභාව මගින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඉතා ගැඹුරෙන් කරුණු සොයා බලන බවත් ඉදිරිපත්වී තිබෙන ජනතා පැමිණිලි පිළිබඳවද සොයා බලන බවයි.

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ප්‍රශ්නය වඩාත් බරපතල වූයේ පසුගිය රජය විසින් ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු විනිවිදභාවයකින් යුක්තව ඉදිරිපත් නොකිරීම නිසා බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

    පසුගිය රජය මෙන් වර්තමාන රජයත් ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගමට ගොඩ කරන ඉඩම් වලින් කොටසක සින්නක්කර අයිතිය ලබාදෙනවාද නැද්ද යන ගැටලුව නිරාකරණය වී තිබෙන ආකාරය තවමත් පැහැදිලි නොමැති අතර ඇතැම් මාධ්‍ය වාර්තා පළවූයේ චීනයට අමතරව මෙම ව්‍යාපෘතියට ඉන්දියාවද සම්බන්ධ කර ගැනීමට වර්තමාන රජය අදහස් කර තිබෙන බවයි.

    කොළඹ ගාලු මුවදොර ආසන්නයේ මුහුද ගොඩකර වරාය නගරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියටත් කරගෙන යාම සඳහා වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අවසර ලබාදෙන ලදී.
    එහිදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියට අදාළව පසුගිය රජය විසින් සිදුකළ පරිසර අධ්‍යන වාර්තාවන් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

    පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් චීන සමාගමට පසුගිය රජය විසින් ඉඩම් ලබාදීමට එකඟවූ හැටි මෙන්න!

    කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගරයේ ඉඩම් ආයෝජකයාට ලබාදෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකළ අනාවරණය කර තිබුණි.

    මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා බව මහ බැංකුව සඳහන් කර තිබේ.
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන තිබෙන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.
    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල ආයෝජකයා වන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ආයෝජනය කරයි.

    මහ බැංකුව එකළ පවසා තිබු‍ණේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.