ආරක්ෂාකාරී වීම ජනතාවගේ ද වගකීමකි

    April, 24, 2019

    මෙහි දැක්වෙන්නේ අද දහවල් කාලයේ දී කොළඹ ගෑස් පහ හංදිය ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ විසින් සැකකටයුතු යතුරු පැදියක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට කටයුතු කරනු ලබන ඡායාරූප කිහිපයකි.

    මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී විශාල ජනතාවක් ඒ අවට රැස්ව සිටිනු අයුරු ඡායාරූප පෙළෙන් දිස්වේ.

    මෙම යතුරුපැදිය ආරක්ෂා සහිතව පුපුරුවා හැරීමත් සමඟම එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබුණු බවට තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබුණි.

    කෙසේ වෙතත් මෙම අවස්ථාවේ දී ඒ අවට සිටින ජනතාව එතැනින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ හට දැඩි පරිශ්‍රමයක් ගත යුතු විය. එහි රැස්ව සිටි බොහෝ පුද්ගලයින්ගේ ප්‍රමුඛ කාර්යය වූයේ අදාළ සිදුවීම තම ජංගම දුරකතන ආධාරයෙන් රූපගත කිරීමයි. එම යතුරුපැදිය හා පසෙකින් සිටින ජනතාව අතර ඇත්තේ කෙටි දුරකි.

    මෙම අවස්ථාවේ යතුරුපැදිය පුපුරණ ද්‍රව්‍යවලින් සන්නද්ධ එකක් වූයේ නම්, එහි අනතුරුදායක පරාසය කොපමණදැයි තක්සේරු කිරීම අපහසු කාර්යයක් වනු ඇත. එය මීටර 2-3ක සිට ඇතැම් විට මීටර 50 ක වපසරියක් වුව ද විය හැකිය.

    එබැවින් මෙවැනි අවස්ථාවක දී වැදගත් වනුයේ සිද්ධිය රුපගත කිරීම ද නැතිනම් සිය ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමද යන තීන්දුව ගැනීමට ජනතාව කල්පනාකාරී වියයුතුය. පවතින වාතාවරණය තුළ ජනතාවට ආරක්ෂක අංශ වෙත ලබා දිය හැකි ඉහළම සහයෝගය වන්නේ මෙවැනි සිදුවීම් නැරඹීමට යාමෙන් හැකිතාක් වැළකී සිටීමයි.

    එය ආරක්ෂක අංශ වෙත ලබා දෙන සහයෝගයක් මෙන්ම තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගනු ලබන වැදගත් පියවරකි.

    (මෙම රූපගත කිරීම අප කැමරා ශිල්පියා විසින් ප්‍රමාණවත් ආරක්ෂිත දුරක සිට සිදුකරනු ලැබූවකි.)