ආරක්ෂිත ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා සෙලින්කෝ ලයිෆ් හරිත සමාජය ඊ-අපද්‍රව්‍ය කිලෝ 990ක් එකතු කරයි

    August, 10, 2020

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ Green Club හෙවත් හරිත සමාජය විසින් පසුගියදා දියත්කළ ඊ-අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනයේදී පරිසරයට හානි කරන විෂ අඩංගු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ 990 ක් එකතු කිරීමට එම සමාගමේ සේවකයින් සහ පවුල්වල සාමාජිකයින් කටයුතු කළේය. මෙම වැඩසටහන මගින් ඉලක්ක කර තිබෙන්නේ අත්හැර දැමූ සහ අක‍්‍රීය වී තිබෙන ඉලෙක්ට්‍රොනික උපකරණ වගකීම් සහගත ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමයි.

    මේ අනුව, සෙලින්කෝ ලයිෆ් කාර්යාල වලින් සහ සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින්ගේ නිවෙස් වලින් එකතු කරගත් ඊ-අපද්‍රව්‍ය අතරට ප‍්‍රින්ටර්ස්, පුද්ගලික පරිගණක සහ කොටස්, ලැප්ටොප් පරිගණක, නෙට්වර්කිං උපකරණ, ස්කෑනර්, ජංගම දුරකතන, CD තැටි, DVD තැටි, floppy disk, UPS ඒකක, වීඩියෝ කැමරා, කැල්කියුලේටර්, ෆැක්ස් යන්ත‍්‍ර, දුරකතන, වීඩියෝ ගේම්ස්, ඉලෙක්ට්‍රොනික කොටස්, ලෙඞ්, නිකල් සහ කැඞ්මියම් බැටරි, විදුලි සංදේශ සහ සර්වර් බැටරි අයත් වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම සඳහන් කරන්නේ මෙම දිනයේදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කැබලි 800 ක් පමණ එකතුකළ බවත් ඒවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ කීර්තිමත් සමාගමක් වෙත යැවූ බවයි. මේ අනුව, මෙම වැඩසටහන මගින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් බොහෝදෙනාගේ දෑස් විවර කිරීමට සමත්වූ බව සමාගම සඳහන් කරයි. මෙම සමාජ සත්කාරය මගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය රාත්තල් 11,123 කින් පමණ අඩුකිරීමට සමාගම සමත්වී තිබෙන අතර එය ගස් 369 ක් ආරක්ෂා කිරීමට හෝ ප්ලාස්ටික් බෝතල් 12,990 ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට සමාන වේ.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සමාජයෙහි, සභාපති තිලාන් විජේසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපේ නිවෙස්වල සහ කාර්යාලවල කොතරම් ඊ-අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් එක් රැස්වී තිබෙනවාදැයි මෙයින් පෙනෙනවා. අපගේ පළමු ඊ-අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය සාර්ථක වූ අතර එතරම් සැලකිල්ලක් නොදක්වන මෙම අංශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙමගින් දිරියක් වගේම සහයෝගයක් ලැබෙනවා. ඊ-අපද්‍රව්‍යවල තිබෙන විෂ රසායනික වලින් පරිසරයට වන හානිය පිළිබඳව අපගේ ප‍්‍රජාවට අවබෝධයක් තිබෙනවා.’

    පාරිසරික අභියෝග පිළිබඳව සියළුම සේවකයින් දැනුවත් කිරීම සහ එම අභියෝග ජයගැනීමට අවශ්‍ය කුසලතා සහ විශේෂඥතාවයන් සංවර්ධනය කිරීම, පරිසරය රැකගැනීමට වගවීමේ සංස්කෘතියක් ඇති කිරීම මෙන්ම තිරසාර සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සිය පවුල්වල සාමාජිකයින් සහ ප‍්‍රජාව සම්බන්ධ කරගනිමින් පරිසරය සුරැකීමට සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින් උනන්දු කිරීම සඳහා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් මේ වසර මුලදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සමාජය ආරම්භ කරන ලදී.

    තිරසාරත්වය සඳහා කැපවෙමින් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හරිත ශාඛා ජාලයක් ඉදිකිරීම මේ වනවිට සාර්ථකව සිදුකරමින් සිටී. මෙම නව ගොඩනැගිලි සූර්ය බලශක්ති පද්ධති, වැසි වතුර රැස්කිරීමේ ස්ථාන, අපජලය පිරිසිදු කිරීමේ පද්ධති වලින් සමන්විත වන අතර නල ජලය ලබාගැනීම අවම කරමින් උපරිම ස්වභාවික ආලෝකයක් ලැබෙන පරිදි සැලසුම් කර තිබේ. මීට අමතරව, මෙම ගොඩනැගිලි සැලසුම් කර තිබෙන්නේ නවතම බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධති වලින්ද යුක්තවයි.

    මේ අතර, සමාගම විසින් පරිසරයට දක්වන කැපවීම සහ කාබන් මුදා නොහරින තත්ත්වයට පත්වීමේ අරමුණෙන් කැළණිය විශ්ව විද්‍යාලය සමග එක්ව පුත්තලම කළාපයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හෙක්ටයාර් 50 ක (අක්කර 123.5 ක) ඉඩම්වල වනගහනය යථාතත්ත්වයට පත්කරමින් එය පවත්වාගෙන යාමේ වැඩසටහනක් සඳහාද සෙලින්කෝ ලයිෆ් සම්බන්ධ වී සිටී.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාතම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍ර විය. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

    සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (ඉහළ, මැද සහ වමේ සිට දෙවැනි අසුනේ අසුන්ගෙන) සහ මෙම වැඩසටහන දියත් කළ Green Club සාමාජිකයින් සමග. (පහළ) වැඩසටහන පවත්වමින්.