ආර්ථිකයේ පහළයාමට ආණ්ඩුවට විතරක් වගකියන්න බැහැ – මුදල් රාජ්‍ය ඇමති ඉරාන් කියයි

    July, 17, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට ඇස්තමේන්තු කරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. වසර ආරම්භයේ දී මෙය 4% ක් බවට පුරෝකථනය කර තිබුණි.

    කෙසේවෙතත් දෙරණ 360 වැඩසටහන සමඟ එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ආර්ථික වර්ධන වේගය පහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව පමණක්ම වගකීමට බැඳෙන්නේ නැති බවයි. මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පළ කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

    “ආර්ථ්කයක් දිහා බලපුවාම ආණ්ඩුව විතරක් වගකියන්නේ නැහැ. සමහර රටවල ඔය ප්‍රශ්නේ ඇහුවොත් හිනාවෙයි. මොකද ඒ රටවල්වල ආර්ථික වර්ධන වේගය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ, පුද්ගලික අංශයෙන්. එතකොට පුද්ගලික අංශයේ එක එක හේතු තියෙන්න පුළුවන්, ඒ වර්ධනය අඩුවෙන්න හෝ වැඩිවෙන්න. අනිත් එක ආර්ථිකයක් ලෝකයට සම්බන්ධ වෙන්න නම්, ලෝකයේ තියෙන ආර්ථිකය අඩුවැඩි වෙන ආකාරයට ඒක වර්ධනය වෙන්න පුළුවන්.“

    “අපි ගත්තොල් අවුරුදු 6-7කට උඩදි වෙනකං ආසියාවේ ආර්ථික වර්ධනය සීඝ්‍ර වර්ධනයක් තිබුණා. දශකයකට වැඩිය සීඝ්‍ර වර්ධනයක් ආසියාවේ තිබුණා. අපි අවුරුදු 25-30කට උඩදි කල්පනා කළානං, ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වුණේ ඇමරිකාවයි යුරෝපයයි. නමුත් අපේ ජීවිත කාලයේ දී ඒ කේන්ද්‍රස්ථානය වෙනස්වෙලා තියෙන්නේ.“

    “ඇමරිකාවයි යුරෝපයෙයි ඉඳලා ආසියාවට ඇවිල්ලා තියෙනවා. මොකද සමහර විට අවුරුදු 30කට උඩදි සිහිනෙන්වත් හිතපු නැති දෙයක් වෙලා තියෙනවා. එතකොට ඉන්දියාවේ චීනයේ ආර්තික වර්ධන වේගය සීඝ්‍රෙයන් තිබුණා. ඒ වෙලාවේ දී ආර්ථික වර්ධන වේගය ඉන්දියාවේ චීනයේ 9%, 10%, 11% යි. එතකොට ලංකාවත් ආසියාවේ රටක් හැටියට අපිට 5%, 6%, 7% වගේ වර්ධන වේගයන් තිබුණා. මේ ආර්ථික වර්ධන වේගයන් ආසියාවේ වැටිලා තියෙනවා. පසුගිය අවුරුදු 3,4,5 ගත්තොත් මේක වැටිලා තියනෙවා, අඩුවෙලා තියෙනවා.“

    “දැන් ඒ රටවල ආර්ථික වර්ධනය 5%, 6%, 7%, 8%ට වගේ වැටිලා තියෙන්නේ. ඉතිං අපේ ආර්ථික වර්ධන වේගය 3-4% අතරේ තිබිලා තියෙන්නේ. ඒක 5-6 යි අතරේ තිබුණා නං හුඟක් හොඳයි. නමුත් ඒක අඩුවෙලා තියෙනවා. ඒකට හුඟක් හේතු තියෙනවා.“

    “එකක් ඇවිල්ලා ආසියවේ වර්ධන වේගය අඩු වීම, ලෝක ආර්ථික වර්ධන වේගය අඩුවීම.“

    “දෙවෙනි හේතුව, ආයෝජනය කරන්න යනකොට ඒ තියෙන වටපිටාව පිළිබඳව එකඑක්කෙනාට තියෙන අදහස අනුව තමයි ඒක වර්ධනය වෙන්නේ.“
    “දැන් මෙහෙම එකක් තියනෙවා. අපි පිහිටුවලා තියෙන්නේ 2015 දී රජයක් පිහිටුවලා තියෙන්නේ ජනාධිපති කෙනෙක්, ඒ ජනාධිපති වෙනත් පක්ෂයක් නියෝජනය කරනවා, වෙනම පක්ෂයක නායකත්වය ගත්තා. ඒ වගේම පාර්ලිමේන්තුවක් තියෙනවා එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන පාර්ලිමේන්තුවක් තිබෙනවා.“

    “එතකොට පළවෙනි අවුරුදු 4 තුළ දී, මේ අවුරුද්ද වෙනකම්ම, හවුල් ආණ්ඩුවක් තිබුණේ, එක්සත් ජාතික පෙරමුණයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. හවුල් ආණ්ඩුවක් තියෙනකොටත් ඒකේ වාසි අවාසි තියෙනවා. ඒකේ අවාසි පැත්ත තමයි හුඟක් වෙලාවට ආර්ථිකය. මොකද ආර්ථිකය ගැන එක මතයකට වැඩිය තියෙනවා. එතකොට ආයෝජකයනුත් බලාගෙන ඉන්නවා, ඒ මතය ක්‍රියාත්මක කළ යුතුද නැතිද කියන එක. ඒක රජයේ වරදකුත් නෙමෙයි. බලපුවාම ජනාධිපතිතුමාට ජනවරමක් දීලා තියෙනවා. ඒකට අපි ගෞරව කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවට දීලා තියෙන ජනවරම අනුව තමයි, ඒ ආණ්ඩුව හැදිලා තියෙන්නේ. එක පක්ෂයකටවත් බහුතරටක් ලැබුණේ නැහැ පාර්ලිමේන්තුවේ. ඉතිං ඒ බහුතරය නැතිකොට බලනවා, එක එක සන්ධාන හදාගෙන ආණ්ඩුව කරගෙන යන්න. අතකොට අපිට පුළුවන් වෙලා තියනේනේ එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ ආණ්ඩුවත් හදන්න, මේ අවුරුද්දේ ජනවාරි මාසයෙන් පස්සේ තමයි. එක විදියට එක ආණ්ඩුවක් තියෙන්නේ දැනුයි. එතකොට දැන් ඒ ආර්ථික තීරණ ගන්න පුළුවන් වෙලා තියෙනවා.“

    “මම කිව්වා වගේ ආර්ථික වර්ධන වේගයට නොයෙකුත් හේතු කාරණා තියෙනවා. ඒ කතා කළේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතය ගැන. නමුත් ආර්ථිකයක් මනින්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයෙන් විතරක් නෙමෙයි. ඒක මනින්න තම හුඟාක් ක්‍රම විධි තියෙනවා.“

    “ලංකාවේ ආර්ථික ව්‍යූහය දිහා බැලුවොත් මූලික ගැටළු ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. මේක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. පසුගිය අවුරුදු 60-70 ගත්තොත් අපේ අයැවය ගත්තොත් හැමදාම පරතරයක් තිබුණා. අපි හැමදාම වියදම් කරනවා, හම්බුවෙන ප්‍රමාණයට වැඩිය. හරියටම ගෙදර වගේම තමයි. දිගින් දිගටම ලංකාවේ රජයයන්වියදම් කළා ලැබෙන ආදායමට වැඩිය. ඒක පියවන්නේ ණය අරගෙන. ඔය ණය ගැටගැහිලා ගැට ගැහිලා ඇවිල්ලා තියෙනවා. 1950 ගණන්වලින් පස්සේ පළමු වතාවට ලංකාවේ ප්‍රාථමික ඉතිරියක් ඇතිවුණේ අවුරුදු 26කට උඩදී. ඒ කියන්නේ ආදායම වැඩියි වියදමට වැඩිය, නමුත්, ණය පොළී ඒවා නැතුව. ඒ කියනේ අපි ලැබෙන මුදලට වැඩිය, අපි වියදම් කරන්නේ නැහැ. අවුරුදු 63 ක දී මේක සිදුවෙලා තියෙන්නේ දෙවතාවයි. අවුරුදු 26කට පස්සේ පළවෙනි වතාවට ප්‍රාථමික ඉතිරියක් ශ්‍රී ලංකාවේ අයවැය තුළ හැදුණේ 2017. 2018 ත් අපි ඒ මූල්‍ය පාලනය නිසා, විනය නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා, ප්‍රාථමික ඉතිරියක් ඇතිකරගන්න.“