ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට

    February, 12, 2020

    බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව ඉදිරියෙන්

    දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වූයේ 2.7% ක් වශයෙනි.

    මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්නා රටවල් බවට හඳුන්වා ඇත. මෙහිදී 7.2% ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර ඇත්තේ බංග්ලාදේශයෙනි.

    දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනව වන ආර්ථිකය බවට හඳුනාගෙන ඇත්තේ පාකිස්තානයයි. එය 2.4 ක් වේ.

    2020 වසරේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 5% ක් ලෙසින් ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

    මේ අතර ආසියානු සංවර්ධන බැංකුව විසින් 2019 ජූලි මාසයේ දී, 2020 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.5%කින් වර්ධනය වනු ඇති බවට ඇස්තමේන්තු කළ අතර නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරමින්, 2020 වසරේ දී මෙරට ආර්ථිකය 3.7% කින් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කළේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4% ඉක්මවනු ඇති බවයි.