ඇට්ලස් ඇක්සිලියා සමාගමට සේවා ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක්

    October, 17, 2019

    ඇට්ලස් ඇක්සිලියා සමාගම පසුගියදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සේවා ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍යය සම්බන්ධ ජාතික ආයතනය මගින් වන අතර, එහිදී වඩාත්ම කාර්යක්ෂම සුරක්ෂිතතා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ද, 2018 වසරේ වෘත්තීය ආරක්‍ෂාව සහ සෞඛ්‍ය සඳහා ද ඇට්ලස් ඇක්සිලියා සමාගමට විශේෂ සම්මාන යුගලක් හිමි විය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) විරාජ් ජයසූරිය මහතා මෙසේ පැවසීය. “අපගේ උත්සාහයන් මේ ආකාරයට වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍යය සම්බන්ධ ජාතික ආයතනයේ ඇගයීමට ලක්වීමට අපට මහත් සතුටක්. ඇට්ලස් ඇක්සිලියා සමාගම තම වටිනාම සම්පත ලෙස සලකන්නේ තම සේවක මඩුල්ල බව මින් යළිත් වරක් සනාථ වෙනවා. ආරම්භයේ සිටම අප උත්සාහ කළේ සමාගම තුළ කාටත් එකම පවුලක් ලෙස කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමටයි. මේ උත්සාහයේදී සේවක මඩුල්ලේ යහපැවැත්ම අපට අතිශයින් වැදගත්. ඒ අතින් රැකියා ස්ථානයේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දැඩි අවධානයක් යොමුවිය යුතුයි. ඔවුන්ට තම උපරිමයෙන් රාජකාරි කිරීමට නම් තම ආරක්ෂාව පිළිබඳව කිසිදු බියකින් තොරව කටයුතු කළ හැකි වාතාවරණයක් සකසා දිය යුතු වනවා. නිෂ්පාදන අංශය ඇතුළුව සමස්තයක් ලෙස සමාගම පුරාම ක්‍රියාත්මක වන ආකාරයට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය හා සුරක්ෂිතතා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කර තිබෙන්නේ ඒ නිසයි.” 

    ඇට්ලස් ඇක්සිලියා සමාගමට 
     Indexpo Certification  සමාගම වෙතින් සෞඛ්‍යය හා සුරක්ෂිතතාව සම්බන්ධ  OHSAS 18001  18001 සහතිකකරණය හිමිවී ඇති අතර, සමාගමේ සෞඛ්‍ය හා සුරක්ෂිතතා ක්‍රමවේදයන් නිරන්තර අධීක්ෂණයන්ට ලක්වේ. 


    ඇට්ලස් ඇක්සිලියා (පුද්.) සමාගම 1959 වසරේදී ආරම්භ වූයේ සිලෝන් පෙන්සිල් කම්පනි (පුද්.) සමාගම යන නමින් වන අතර, මේ වනවිට එම සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය නිෂ්පාදක සමාගම බවට පත්වී ඇත. පාසල් දරුවන්ගේ අනාගත සාර්ථකත්වයට අත්වැලක් වීමේ අරමුණ පෙරදැරි කරගත් ඇට්ලස් සන්නාමය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී තිබේ. ඒ නිසාම එම සමාගම 2017 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාමය ලෙස ඇගයීමට ලක්වූ අතර, 2018 වසරේදී ජාතික තත්ත්වය සම්මානයකින්ද පිදුම් ලැබීය.

    ඡායාරූපය: ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී වඩාත්ම කාර්යක්ෂම සුරක්ෂිතතා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගමට හිමිවූ විශේෂ සම්මානය, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සමාගමේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) විරාජ් ජයසූරිය මහතා වෙත පිරිනමන ලද අවස්ථාව. ඇට්ලස් ඇක්සිලියා ආයතනයේ මානව සම්පත් අංශ ප්‍රධානී ලලනි වීරාරච්චි මහත්මිය ද ඡායාරූපයෙහි වෙයි.