July, 30, 2018
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරි වශයෙන් විපුල ගුණතිලක මහතා 2018 අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ. ගුණතිලක මහතා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන අතර ගුවන් සමාගමේ සමස්ත කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වීමට පෙර විපුල ගුණතිලක මහතා TAAG Angola එයාර්ලයින්ස් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ( CFO ) ලෙස සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. එමිරේට්ස් ගුවන් සේවය විසින් TAAG කළමනාකාරිත්වය භාර ගන්නා විට එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙත TAAG සමාගම ඒ මහතාව නම් කරන ලදී. 2017 ජුලි මාසයේ දී එමිරේට්ස් සමඟ එම හවුල්කාරිත්වය අවසන් කරන විට, ඇන්ගෝලා රජය විසින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නැවත වාරයක් ඒ මහතාව පත් කරන ලදී.
ඇන්ගෝලා හි ජාතික ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා විපුල ගුණතිලක මහතා විසින් ලබාදුන් නායකත්වය අතිශය වැදගත් වූ අතර එමගින් කෙටි කාලයක් තුළ ගුවන් සමාගම ස්ථාවරත්වයට පත් වීමට සහ ශක්තිමත් මුදල් ප්‍රවාහයක් ලබා ගැනීමට සමත් විය.
එමිරේට්ස් ගුවන් සේවය විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගම කළමනාකරණය කළ අවධියේ ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස විපුල ගුණතිලක මහතා කටයුතු කළ අතර එහිදී එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර කළමණාකරන කටයුතු කිරීමේදී අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඒ මහතා ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රෙලියාව යන රටවල සමාගම් කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවා තිබේ.
ඒ මහතා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ ( CIMA ) ශ්‍රී ලංකා කලාපීය මණ්ඩලයෙහි හිටපු සභාපතිවරයෙකු වන අතර ශ්‍රී ලංකා විගණන හා ගිණුම්කරණ ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ ඇතුළු තනතුරු රාශියක් හොබවා ඇත.
ගුණතිලක මහතා CIMA - UK, CA -Sri Lanka සහ CPA – ඔස්ට්‍රෙලියා හි සාමාජිකයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇත. ඒ මහතා GE Six Sigma පුහුණුවද ලබා තිබේ.
Video Story