ඇමතිවරයෙකුගේ ගිණුමකට ලැබුණු රු. කෝටි 15 ක් පිළිබඳ පරීක්ෂණයක් ?

    October, 3, 2018

    රජයේ ඇමතිවරයෙකුගේ බැංකු ගිණුමකට ලැබී ඇතැයි පැවසෙන රුපියල් කෝටි 15 ක මුදලක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසා සිටි අතර මෙහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

    “ඒක ගැන මම දැනුවත් නැහැ. නමුත් මට මෙය කිව හැකියි. මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මහ බැංකුව යටතේ තිබුණාට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ඒකකයක් විදියට. මූල්‍ය බුද්ධි ඒකකය විසින් බැංකුවලට කියලා තිබෙනවා, සැකකටයුතු ගනුදෙනු තිබෙනවා නම් ඔවුන් ඒවා වාර්තා කළ යුතු බවට.“

    “එහෙම සල්ලි බැංකුවකට ගියොත්, ඒ බැංකුව රිපෝට් කරන්න ඕනේ FIU යුනිට් එකට. එතකොට ඒ ගොල්ලෝ විමසා බලනවා.“

    මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පැවසීය.

    “FIU නීතිය යටතේ එවැනි තොරතුරු අධිපතිතුමාවත් වෙන කිසිම කෙනෙකුවත් දැනගන්න බැහැ. නීතියක් තිබෙනවා,මෙච්චර ප්‍රමාණයක සල්ලි ගනුදෙනු වෙනවා නම් දැනුම් දෙන්න. ක්‍රමවේදයක් තිබෙනවා. ඒ යටතේ කාටද ආවේ, කාගෙන්ද ආවේ නැත්තේ කියන එක කවුරුවත් දන්නේ නැහැ. ඒ වැඩ කරන නිලධාරීන් දන්වා ඇති. නීතියෙන්ම ඒක ගැන සාකච්ඡා හෙළි කරන්න බැහැ.“