ඇමරිකාවෙන් ආ P626 ලංකාවේ දී ‘ගජබාහු‘ වෙයි

    June, 7, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී626 නෞකාව ඊයේ (06) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි.

    මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පුජකවරුන් ද, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් ද, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

    අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් රෝහිත අබේසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබාහු”  නමින් අධිකාරියට පත් කරන ලද මෙම ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ජනාධිපතිතුමා නෞකාවේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නාවික හමුදාපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරිත්ව පිළිබඳව පිරිස දැනුවත් කරන ලදී.

    ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වන දින හවායි දූපතේ හොනොලුලුහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම නෞකාව දිගින් මීටර් 115 ක් වන අතර, පළලිල් මීටර් 13 කින් යුක්ත වේ. පැයට මුහුදු සැතපුම් 28 ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 3302 ක ධාරිතාවයකින් යුක්ත වේ. මෙම නෞකාවේ නිලධාරීන් 22 දෙනකු ඇතුළු 111 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරියෙහි යෙදේ.

    මෙම නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධතිවලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිත වන විශාලතම නෞකාව බවට පත් වේ.

    ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීම් මෙහෙයුම්, සාගර සම්පත් ආරක්‍ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.