ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?

    May, 2, 2015

    ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.

    මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.

    මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

    මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.

    ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි.

    පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.

    චීන සමාගම් විසින් ලංකාවේ සිදුකරන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ඇගයීමට නව රජය තීන්දුකර තිබෙන අතර පසුගිය රජයට වඩා වත්මන් රජය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

    මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.

    ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.