ඇරඹූ දා පටන්ම BOI සමාගම් ලයිස්තුගත කිරීමේ සූදානමක්

    March, 12, 2014

    ගනුදෙනු කළ හැක්කේ සුදුසුකම් සපිරූ ගනුදෙනු කරුවන්ට පමණයි

     ආයෝජන මණ්ඩල සමාගම් ක්‍රියාත්මක කළ දිනයේ සිට ඒවා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වාදීමට හැකියාවක් ඇතැයි විනිමය කොමිසම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දී ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි.

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා අප සමග පැවසුවේ ආයෝජන මණ්ඩලය කර තිබූ ඉල්ලීමක් සලකා බලා මෙම දැනුම් දීම කළ බවයි.

     “සමාගමක් ආරම්භ කර අවුරුදු තුනක් ගියාට පසුවයි කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට පුළුවන් වෙන්නේ. නමුත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපෙන් ඉල්ලීමක් කළා ආයෝජන මණ්ඩල සමාගම් ආරම්භ කළ දිනයේ පටන්ම ලයිස්තු ගත කිරීමට හැකි වෙනමම පුවරුවක් හඳුන්වා දෙන්න පුළුවන්ද කියල.“

    “අපි මේ පිළිබඳව විමසා බැලීමෙන් පසුව ආයෝජන මණ්ඩලයට දැනුම් දුන්නා, ඩොලර් මිලියන 50 කට වඩා ආයෝජනය කරන ආයෝජන මණ්ඩල සමාගම් ආරම්භ කළ දිනයේ පටන්ම ලයිස්තුගත කිරීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වා දෙන්න පුළුවන් කියා. හැබැයි මෙම සමාගම්වල කොටස් ගනුදෙනු සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් සුදුසුකම් සපිරූ ගනුදෙනුකරුවන්ට පමණයි. ඒ කියන්නේ බැංකුවක් වගේ වෙළඳ පොළ පිළිබඳව පරීක්ෂණ සිදුකර ආයෝජන කටයුතු කරන ගනුදෙනු කරුවන්ට පමණයි.“

    “ඒ ආකාරයේ සීමාවක් දැම්මේ, ආයෝජකයින්ගේ ආරක්ෂාව සඳහායි. අපි වැඩිදුරටත් ආයෝජන මණ්ඩලයට දැනුම් දුන්නේ සමාගම් කිහිපයක් සොයාගත් පසුව යළි විනිමය කොමිසමට දැනුම් දෙන්න කියායි.“

    මීට අමතරව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ලයිස්තුගත කිරීම සඳහාද වෙනමම පුවරුවක් කොළඹ කොටස් වෙළඳ පොළේ ස්ථාපිත කරන ලෙසද ඉල්ලීමක් ලැබී ඇතැයි නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් අප සමග සඳහන් කළේය.

    මේ වනවිට, කොළඹ කොටස් වෙළඳ පොළේ සමාගම් ලයිස්තුගත කිරීම සඳහා ප්‍රධාන පුවරුව සහ දිරිසවි පුවරුව ලෙසින් පුවරු දෙකක් තිබේ.