ඇස්බැස්ටෝස් තහනමට විරුද්ධව අධිකරණයට යන්නේ නැහැ

    September, 14, 2016

    කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති පරිදි මෙරටට ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් ගනු ලැබ ඇති පියවරයන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට තම සංගමය අදහස් නොකරන බව ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් රයිනෝ රූෆින්ග් ප්‍රඩක්ට්ස් සමාගමේ සමූහ අලෙවිකරණ කළමනාකාර ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද (14) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    Rhino Roofing Products Ltd, Sri Ramco Lanka (Pvty) Ltd, Built Elements (Pvt) Ltd (Elephant Masconite) හා Sigiri Roofings (Pvt) Ltd යන මෙරට ප්‍රමුඛතම ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයින් මෙම මාධ්‍ය හමුව සඳහා එක් වී සිටියේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට භාවිතා කරන්නේ ක්‍රිසොටයිල් ෆයිබර් පමණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සමුළුවේ නිල ස්ථාවරය පරිදි, නිසි ආකාරයෙන් කළමනාකරණය කරන ලද ක්‍රිසොටයිල් ඒ ආශ්‍රිතව සේවය කරන කම්කරුවන්ට හෝ මහජනතාවට කිසිදු ආකාරයක සෞඛ්‍ය තර්ජනයක් ඇති නොකරන බවත්ය.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය බලධාරීන්ගෙන් අවස්ථාවක් ඉල්ලා කිහිප වතාවක්ම ලිපි යැවූ බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් රජයේ පාර්ශයෙන් ලැබී නොමැති බවත් ඔවුන් මෙහිදී අවධාරණය කරන ලදී.

    මෙම පසුබිම තුළ කිසිදු විටෙක අධිකරණයේ සහාය පැතීමක් බලාපොරොත්තු නොවන බවත් රජය සමඟ සුහදශීලීව මෙම ගැටළුව නිරාකරණය කිරීමට හැකි උපරිම උත්සාහය දරන බවත් ඔවුන් මෙහිදී පැවසීය.

    මෙම කර්මාන්තය තුළ මේ වන විට 4,400 කට අධික පිරිසක් රැකියාවේ නියුතු බවත්, ඔවුන්ගෙන් යැපෙන ප්‍රමාණය 17,000 ක් බවත් පැවසූ මෙම සංගමයේ සම්බන්ධීකාරක ඇන්ටන් එඩෙමා මහතා පැවසුවේ මෙම කර්මාන්තය හරහා 37,800 ක් පමණ වක්‍ර රැකියා සංඛ්‍යාවක් ද මේ වන විට බිහි වී ඇති බවයි.

    ඇස්බැස්ටෝස් මඟින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වෙනත් ලාභදායී ආදේශක වෙත යොමු වෙමින් ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 01 01 දින සිට සීමා කිරීමටත්, 2024 01 01 දින වන විට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා තීරණය කරනු ලැබීය.