ඉඩම් දත්ත යටිතල පහසුකම් සහ ඉඩම් තොරතුරු සේවා පද්ධතිය පිහිටුවීමට කොරියාවෙන් ඩොලර් මිලියන 60ක්

    September, 24, 2020

    ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් නව තාක්ෂණය භාවිත කර දෙපාර්තමේන්තුවේ පාලන ජාල ස්ථාපනය කිරීම හා එමඟින් මැනුම් සිදු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා ඵලදායීතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.
    ඒ අනුව ඉඩම් තොරතුරු භාවිත කරන පාර්ශ්වයන්ට ඔවුන්ගේ සේවාවන් සඳහා එම තොරතුරු භාවිත කිරීමට පහසුවන අයුරින් දියුණු යටිතල පහසුකම් සහිත ඉඩම් තොරතුරු සේවා පද්ධතියක් සථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇත.
    ඒ අනුව, ශ්‍රී ලංකා කොරියානු ණය ආධාර ලබා ගැනීමේ රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60.33ක ආයෝජනයක් සහිතව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව 'ඉඩම් දත්ත යටිතල පහසුකම් සහ ඉඩම් තොරතුරු සේවා පද්ධතිය' ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.