ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

    February, 23, 2017

    එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (23) දිනයේ දී වාර්තා විය.

    අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර ඊයේ දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 149.80 ක් හා රු. 153.56 ක් විය.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.