ඉදිරි වසර එක හමාර ඇතුළත මෙරට ආර්ථිකයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුවන බව මුදල් ඇමති කියයි

    April, 4, 2016

    ඉදිරි වසර එක හමාර ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී වෙනසක් සිදු වන බවත්, ඒ සඳහා වන මූලික සැලසුම් සකස් වෙමින් පවතින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වර්ධනය කළ යුතු බවත්, විදේශ ආයෝජන රට තුළට කැඳවා ගත යුතු බවත් ඒ සඳහා වන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් රජය සතු බවත් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

    සපුගස්කන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික සේවා විද්‍යාලයේ සාමාජිකයන් වෙනුවෙන් “ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය”මැයෙන් දේශනයකට එක් වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

    එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා -

    “2015 ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව, රට එතෙක් පැමිණි ආර්ථික ක්‍රමය වෙනස් කළා. ඒ නිසා තමයි නව ආණ්ඩුවක් බලයට ආවෙ. ආර්ථිකය කොහොමද කියන එක තමයි හැමෝම අහන්නෙ. ආර්ථිකය ඉදිරියට රැගෙන යාම නෙවෙයි ගැටලුව, ආර්ථිකය පවත්වාගෙන ආ ආකාරයයි. නමුත් අපට බෑ අතීත පාලනයට දෝෂාරෝපණය කරමින් ඉන්න. එදා පාලනය දුර්වල නිසා තමයි, අපට බලය දෙන්න ජනතාව තීරණයක් ගත්තෙ.

    වසර 30ක් තිස්සේ දිග්ගැස්සුන යුද්ධයක් තිබුණ රටේ. ඔබට අවස්ථාව ලැබුණ ඒක අවසන් කරන්න. ඔබ එය අවසන් කළා. ඒ යුධ පෙරමුණ වගේ ම තමයි මේ ආර්ථික පෙරමුණත්. පෙර සිටි අය ඒක ජය ගන්න අපොහොසත් වුණා. දැන් අපට භාර වෙලා තියෙනවා ඒ පෙරමුණ ජය ගන්න.

    2015 ජනවාරි 8 වැනිදා අපි බලයට පත් වුණාට පස්සෙ මුලින් ම කළේ අපි ලබා දුන් දින සීයයේ පොරොන්දු ඉටු කිරීමයි. වැටුප් වැඩි කළා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. කිසිදු අනවශ්‍ය වියදමක් නැතුව අපි ඒ දින සීයයේ කටයුතු කළා.

    ඒ කාලය තුළ අයවැය හිගය එක ශතයකින් වැඩි වුණේ නෑ. අපේ අයවැය හිගය අපි දැනගෙන හිටි පරිදි රුපියල් ට්‍රිලියන 7.1යි. නමුත් අද අපි තේරුම් අරගෙන තියෙනවා එය ට්‍රිලියන 8.9 දක්වා ඉහළ ගිහින් තියෙන බව. විනයක් ඇති නිලධාරීන් විදියට ඔබ දැන් අසාවි ට්‍රිලියන 7.1 කොහොම ද ට්‍රිලියන 8.9 දක්වා ඉහළ ගියේ කියල. ඊට හේතුව තමයි ආනාවරණ නොවන විදියට කළ වියදම්. මේ ට්‍රිලියන 1.6ක විතර මුදල් වැය කරල තියෙනවා, ඒත් කිසිම තැනක ගිණුම් ගත වෙලා නැහැ. නමුත් මම එක දෙයක් කිව යුතුයි යුධ සමයේ සිදු කළ සියලු වියදම් හරියට ම ලේඛනගත වෙලා තියෙනවා. ඒත් පාරවල් හදන්න, ගුවන් තොටුපොළ, වරාය හදන්න වැය කළ ඇතැම් මුදල් මේ විදියට අවභාවිත වෙලා තියෙනවා. සමස්තයක් විදියට ගත්තම ඇතැම් අවස්ථාවල ජනප්‍රිය වීම සඳහා කළ ක්‍රියාකාරකම් සඳහා වැය කළ මුදල් තමයි මේ විදියට සැගවිලා තියෙන්නෙ.අයවැයක් කියන්නෙ ආණ්ඩුවේ වියදම් සහ ආදායම්. ඊට පස්සේ අපට හමු වෙනවා අයවැය පරතරය. මේක පියව ගන්නෙ කොහොම ද? පළමු වැන්න බදු එකතු කිරීම. ඒක තමයි අමාරුම වැඩේ.

    මේ අර්බුදකාරී තත්ත්තවයෙන් රට මුදා ගන්න අපට වසර 5ක කාලයක් තියෙනවා. මම හිතනවා ඉදිරි වසර එක හමාරක කාලය තුළ අපට හැකි වෙයි කියල මේ ආර්ථිකය නවීකරණය කරන්න. ඒ කාලය තුළ අපට හැකි වෙයි මූල්‍යමය විනය රට තුළ ඇති කරන්න.

    අපි කොහොම ද මේක කරන්නෙ. පළමු කාරණාව තමයි ආදායම වැඩි කර ගැනීම. අපට එහෙම කරන්න වෙලා තියෙන්නෙ ලෝක ආර්ථික අර්බුදයක් ඇති මොහොතක.පළමු වරට චීනය තම මුදල් ඒකකය 11%කින් අවප්‍රමාණය කරල, ඉන්දියාව 15%කින් තම මුදල් ඒකකය අවප්‍රමාණය කරල. අපේ රටේ අවශ්‍යතාවන්ගෙන් 68%ක් තවමත් ආනයනය කරනවා. මේ තත්ත්වය හමුවේ මොකක් ද මේ පුංචි ශ්‍රී ලංකාවට කළ හැක්කේ. නමුත් අප තවමත් ඒ බර ජනතාවට දැනෙන්න හැරල නෑ.

    අපනයන ශක්තිමත් කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධානතම පියවරක්. නමුත් තේ, පොල්, රබර් වගේ සාම්ප්‍රදායික දේවල් හැරුණා ම, රෙදිපිළි, සෙරමික් භාණ්ඩ, පාවහන් වැනි දේ තවමත් ඒ තත්ත්වයට පත් වෙලා නෑ. ඒත් ඇතැම් සේවා අංශ පිළිබඳ අපට සතුටට පත් වෙන්න පුළුවන්.

    මම සිංගප්පූරුවේ ආර්ථික සමුළුවකට ගිය අවස්ථාවේ සිංගප්පූරුවේ පිරිස අමතමින් මේ ගැන සඳහන් කළා. ඔවුන් පැවසුවේ අපූරු කතාවක්. අපි ටොයෝටා වාහන පාවිච්චි කරනවා. ආරක්ෂාවට ආසන පටි පළඳිනවා. අනතුරක් වුණා ම ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වෙන්න හදල තියෙන සංවේදක (Sensors)හදන්නෙ ශ්‍රී ලංකාවේ කියල ඔවුන් කිවුවා. ඔවුන් කිවුවා වගේම, ලෝකෙ හුඟක් ප්‍රකට සමාගම් ශ්‍රී ලංකාවට එවල ඔවුන්ගේ ඇතැම් නිෂ්පාදනය කරවගෙන නැවත රැගෙන යනවා.

    මේ අපි අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයක්. ඒ ආකාරයට විදේශ විනිමය අපට ලැබෙන විට තමයි මම අර කලින් කියපු පරතරය අඩු කර ගන්න හැකි වෙන්නෙ.

    අපි අපේක්ෂා කරනව ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව 6.7%ක ආර්ථික වර්ධනයක් අත් කර ගනියි කියල. අපි ඒ ඉලක්කයට යනව නම් අපට ශ්‍රම හමුදාවක් අවශ්‍යයි. අපේ රටේ ජනතාවගෙන් මිලියන 2.2ක් විදේශ ගතව සේවය කරනවා. ඒ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය අපේ හැකියාවන්, අපේ සම්පත්, අපේ ධනය. කෙනෙක් විදේශ ගත වෙලා රැකියාවක් කළොත් ඩොලර් 300ක පමණ අවම වැටුපක් ගන්න පුළුවන්. මේ විදේශගත වෙන ශ්‍රී ලාංකිකයන් අපේ රටේ නවත්ත ගන්න නම් ඒ හා සමාන, ජීවත් වෙන්න හැකි මුදලක් අප ගෙවිය යුතුයි. ඒ නිසා තමයි අප බලයට ආ ගමන් ම රාජ්‍ය සේවය වැටුප රුපියල් 10000කින් ඉහළ නංවන්නට කටයුතු කළේ. ඒක පහසු කාර්යයක් නෙවෙයි.

    අපි මේ ගත කරන්නෙ ඉතා ම වගකීම් සහිත කාල පරිච්ඡේදයක්. අපි හැමෝට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. යුද්ධය ජයගත්ත වගේ ම ආර්ථිකය ජය ගන්නත් අපි කැප කිරීම් කළ යුතුයි.”යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට සපුගස්කන්ද ආරක්ෂක අණ හා මාණ්ඩලික සේවා විද්‍යාලයේ සේනා විධායක මේජර් ජනරාල් උදය පෙරේරා මහතා ඇතුළු දෙස් විදෙස් හමුදා සාමාජිකයන් ඇතුළු 200 අධික පිරිසක් සහභාගී වූහ.