ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ආයතනයෙන් කොමර්ෂල් බැංකුවට සම්මාන දෙකක්

    February, 25, 2020

    2019 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම දේශීය බැංකුව’ යන සම්මානය සහ ‘හොඳම ආයතනික බැංකුව’ යන සම්මාන යුගලය එංගලන්තය පදනම් කරගත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව විසින් පසුගියදා ඩුබායි හි, ජුමේරාහ් එමිරේට්ස් ටවර් හෝටලයේ අති උත්කර්ශවත් අයුරින් පැවැති උත්සවයකදී කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී. මෙම සම්මාන බැංකුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයතනික සහ වෙළඳ සේවා බී.ඒ.එච්.එස්. ප‍්‍රීනා මහතා විසින් ලබාගත්තේය.

    ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන ලබාදුන් පිට පිටම සිව්වන වසර මෙය වේ. 2016 වසරේදී මෙම සඟරාව විසින් කොමර්ෂල් බැංකුවට ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ යන සම්මානය ලබාදුන් අතර 2017 වසරේදී ‘හොඳම හරිත බැංකුව’ සහ ‘හොඳම පුද්ගලික බැංකුව’ යන සම්මාන පිරිනමන ලදී. මීට අමතරව, 2018 වසරේදී ‘හොඳම දේශීය බැංකුව’ සහ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ යන සම්මානද බැංකුව දිනා ගත්තේය.

    ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව එංගලන්තයේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් පබ්ලිකේෂන්ස් ලිමිටඞ් විසින් ප‍්‍රකාශයට පත්කරන ප‍්‍රමුඛතම මූල්‍ය සහ ව්‍යාපාරික සඟරාවකි. මෙම සඟරාව මගින් නැගී එන වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් ප‍්‍රවෘත්ති සහ විශ්ලේෂණ ඉදිරිපත් කරන අතර ඒ සඳහා විශේෂඥයින්, සම්පත් දායකයින් සහ මාධ්‍යවේදීන් සම්බන්ධ වී සිටී.

    සේයාරුවෙන් දැක්වෙන්නේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව විසින් කොමර්ෂල් බැංකුවට 2019 වසර නිමිත්තෙන් පිරිනැමූ සම්මාන යුගලයෙන් එක් සම්මානයක් ප‍්‍රීනා මහතා විසින් ලබාගන්නා ආකාරයයි.