ඉන්දියාවෙන් පැමිණ එංගලන්තයේ ලොකුම කෝටිපතියන් වූ හින්දුජා සහෝදරයෝ

    May, 12, 2014

    හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් කලක් වැජඹුණු එංගලන්තයේ බිලියන පතියන්ගේ නවතම ලයිස්තුව එළි දක්වා තිබේ.

    මෙහිදී, අනාවරණය වන්නේ මෙම බිලියන පතියන්ගේ ලයිස්තුවේ අංක එකට පැමිණ තිබෙන්නේ ඉන්දියානු සහෝදරයින් දෙදෙනෙකු බවයි. බින්දුවේ සිට සිය ව්‍යාපාර ඉහළට ඔසවාගත් මෙම සහෝදරයින් ලෝකයේ ප්‍රචලිත වී සිටින්නේ හින්දුජා සහෝදරයින් ලෙසයි.

    මේ අනුව, 78 වියේ පසුවන ශ්‍රීචන්ඩ් හින්දුජා  සහ 74 වියේ පසුවන ගෝපි හින්දුජා යනුවෙන් හඳුන්වන එංගන්තයේ වාසය කරන මෙම ඉන්දියානු සහෝදරයින් දෙදෙනාගේ වත්කම පවුම් බිලියන 11.9 කටත් වඩා වැඩිබව නවතම වාර්තා අනාවරණය කරයි.

    මෙම සහෝදරයින් දෙදෙනාට අමතරව හින්දුජා පවුලේ තවත් සහෝදරයින් දෙදෙනෙකු සිටී. ඉන්දියාවේ සහ ජිනීවා හි, වාසය කරන ඔවුන් දෙදෙනාද ලෝකයේ ප්‍රචලිත ව්‍යාපාරිකයින් බව සඳහන්ය.

    මොවුන් සිව්දෙනාම එළවලු ආහාර පමණක් කෑමට ගන්නා හින්දු ආගමට බොහෝ ලැදියාවක් දක්වන අය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

    මොවුන්ගේ පියා පවුලේ ව්‍යාපාරයක් ලෙස හින්දුජා ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ 1914 වසරේදී මුම්බායි නුවරදීයි. ඔහු විසින් 1919 වසරේදී සිය ව්‍යාපාරික කටයුතු විදේශ රටවලට ව්‍යාප්ත කිරිම අරඹා ඇත.

    මේ අනුව, ශ්‍රී සහ ගෝපි යන සහෝදරයින් දෙදෙනා ලන්ඩන් නුවරට පැමිණ ඇත්තේ තම පවුලේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීම සඳහායි.

    පියා විසින් ආරම්භ කළ ව්‍යාපාරික කටයුතු දියුණු කිරීම සඳහා මොවුන් දැඩි වෙහෙසක් ගත් බවත් මේ නිසාම මොවුන් ජයග්‍රහණයේ හිනිපෙත්තටම නැගීමට සමත් වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ වනවිට, හින්දුජා ව්‍යාපාරය රටවල් 37 ක ව්‍යාප්තවී තිබෙන අතර ට්‍රක්රථ නිෂ්පාදනය, ලිහිසි තෙල් ව්‍යාපාරික කටයුතු, බැංකුවල සිට සෞඛ්‍ය අංශයේ ව්‍යාපාර දක්වා සමූහය හොඳින් විවිධාංගීකරණය වී ඇත.

    ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී සහ ගෝපි සහෝදරයින් දෙදෙනායි.