March, 22, 2020
COVID 19 වෛයිරසය ගෝලීය ව්‍යාප්ත වී යාම හේතුවෙන් ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාව සහ උපදෙස් පරදි ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් සේවා පහසුකම් සලසමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් වරක් ජාතික මෙහෙවරක් ඉටු කරන ලදී. ඔවුන් දිවයිනට පැමිණෙන අවස්ථාව වන විටත් නිරෝධායන කටයුුතු හේතුවෙන් පසුගිය මාර්තු 20 වන සිකුරාදා සිට ශ්‍රී ලංකාවට පැය 48 ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබිනි.
මෙම මගීන් වෙනත් ගුවන් සමාගම්වලින් ඉන්දියාවට ගොස් ඇති අතර, ශ්‍රී ලංකා රජය විසින් ගුවන් මෙහෙයුම් සීමාවන් පැනවීම හේතුවෙන් අදාළ ගුවන් යානා කොළඹ බලා මෙහෙයුම් නතර කරන ලදී. ඒ අනුව ඔවුන් ඉන්දියාවේ අතරමංව සිටි බව ගුවන් සමාගම ප්‍රකාශ කර සිටියි. මෙම මගීන් ප්‍රධාන වශයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සමන්විත වයස් කාණ්ඩවලට අයත් වූහ. වෛරසයෙන් ආරක්ෂා වීමට පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති හෙයින්, ජාතික ගුවන් සේවය ඉතා කඩිනමින් හා ආරක්ෂිතව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු සලසන ලදී.
මෙම වෛයිරසය චීනයේ වූහාන් නගරයේ සිට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී යාමේ සිටම, ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කරා පැමිණීමට පසුකම් සැලසීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. රජය විසින් නිවාඩු දිනයන් සහ 'ගෙදර සිට වැඩ කිරීම' ප්‍රකාශයට පත් කර තිබියදීත් ගුවන් සමාගමේ මෙහෙයුම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර, කාර්යමණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ කාර්යයන් සඳහා කැපවීමෙන් හා උනන්දුවෙන් සහභාගී වෙමින් සිටියි. මෙවැනි දුෂ්කර කාලවලදී ඔවුන් ඉටු කළ යුතු කාර්යභාරය සම්පූර්ණයෙන් අවබෝධ කර ගෙන සිටියි.
ශ්‍රීලංකන් ගුවන් සේවය, රාජකාරියට වඩා ඉහළින් හා ඉන් ඔබ්බට ගොස් කිසිදු වාණිජමය අරමුණු ඉටුවීමක් අපේක්ෂා නොකර සහ ව්‍යාපාරයට ඇති විය හැකි බලපෑම නොතකා, මෙම තීරණාත්මක පැයේදී රටක් ලෙස මෙන්ම ජාතික ගුවන් සේවයක් ලෙස අපේක්ෂා කරන අරමුණ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, සියලු දෙනා එකමුතුව රැඳී සිටිමින් විශේෂ කාර්යභාරය ඉටු කරයි.
ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර කාර්යාලය ඇතුළුව ශ්‍රීලංකන් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය (0197331979) අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර ආශ්රිත සේවාවන් සඳහා පැය 24x7 සේවාවක් ලබා දෙයි. වැඩි විස්තර සඳහා කරුණාකර www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න.
Video Story