ඉන්දියාවේ නවදිල්ලියේ සිටි වෛද්‍යවරුන් රොබෝ තාක්ෂණයෙන් කොළඹ Kings රෝහලේ දී සිදුකළ ඓතිහාසික සැත්කම

    October, 26, 2026

    Kings Hospital Colombo ශ්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ තාක්ෂණික දුරස්ථ ශල්‍යකර්ම දෙක සාර්ථකව සිදු කරයි

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Kings Hospital Colombo රෝහල මෙරට ප්‍රථම රොබෝ තාක්ෂණික දුරස්ථ ශල්‍යකර්ම (Robotic Telesurgeries) දෙක සාර්ථකව සිදු කර තිබේ. කිලෝමීටර් 3,000කට අධික දුරකින් පිහිටි ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් දුරස්ථව මෙහෙයවන ලද මෙම ශල්‍යකර්ම දෙක, ඔක්තෝබර් 19 වැනිදා Kings Hospital Colombo රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු සඳහා සිදු කරන ලදී.

    මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර සහ මහාචාර්ය භවන්ත ගමගේ විසින් අධිවේගී සන්නිවේදන ජාල ඔස්සේ රටවල් දෙක අතර සම්බන්ධ කරන ලද රොබෝ ශල්‍යකර්ම පද්ධතියක් භාවිත කරමින් මෙම ශල්‍යකර්ම සිදු කරන ලදී. මෙම ජයග්‍රහණයත් සමඟ දේශසීමා ඉක්මවා රොබෝ තාක්ෂණික දුරස්ථ ශල්‍යකර්ම සිදු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව තහවුරු කළ ලොව සීමිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වේ. ශල්‍යකර්ම දෙක සිදු කෙරුණු කාලය පුරාම කොළඹ Kings රෝහලේ ශල්‍යාගාරය තුළ රොගීන් සමඟ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් රැඳී සිටි අතර, කිසියම් වෛද්‍යමය හෝ තාක්ෂණික ගැටලුවක් මතු වුවහොත් වහාම මැදිහත් වීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබිණි. කොළඹ Kings රෝහලේදී සිදු කළ මෙම ශල්‍යකර්ම දෙක සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුක්මන් සංජීව, විශේෂඥ ශල්‍ය වෛද්‍ය චමිල ලක්මාල් සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුරේන් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සහ වෛද්‍ය හර්ශනි ලියනගේ මහත්මියගෙන් සමන්විත ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ද සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.

    කෙසේ වෙතත්, එම ස්ථානයේ රැඳී සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ කිසිදු මැදිහත්වීමකින් තොරව ශල්‍යකර්ම දෙකම දුරස්ථව සාර්ථකව නිම කිරීමට හැකි විය.

    තාක්ෂණික ජයග්‍රහණයකට පමණක් සීමා නොවන මෙම සුවිශේෂී පියවර, අනාගතයේදී ශ්‍රී ලාංකික රෝගීන්ට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ ආකාරය වෙනස් කළ හැකි වැදගත් අවස්ථාවක් ද වේ. වර්තමානයේ ශල්‍යකර්මයක් සඳහා ප්‍රධාන නගර වෙත පැමිණීමට සිදුවන ඕනෑම පළාතක රෝගියෙකුට, අනාගතයේ යම් දිනක අවශ්‍ය තාක්ෂණික පහසුකම් සහිත ප්‍රාදේශීය රෝහලක සිටම එම ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සැලසිය හැකිය.

    එමෙන්ම, මෙවැනි තාක්ෂණයන් තවදුරටත් දියුණු වීමත් සමඟ විදේශීය විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකික රෝගීන්ට විදේශගත වීමේ අවශ්‍යතාව ද අනාගතයේදී අවම කරගත හැකි වනු ඇත. රොබෝ තාක්ෂණික දුරස්ථ ශල්‍යකර්මයකදී, දුරස්ථ පාලන පද්ධතියක් (Remote Console) හරහා ශල්‍ය වෛද්‍යවරයා සිදු කරන චලනයන් රෝගියා අසල ඇති ශල්‍ය උපකරණ වෙත සම්ප්‍රේෂණය කර ඒවා පාලනය කෙරේ. වඩාත් පැහැදිලිව ශල්‍යකර්මය සිදුවන ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ උපකරණ ඉහළ නිරවද්‍යතාවකින් පාලනය කිරීමේ පහසුකම හේතුවෙන්, සැලකිය යුතු දුරක සිට වුවද සංකීර්ණ ශල්‍යකර්ම සිදු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

    මෙම තාක්ෂණය ශල්‍ය වෛද්‍ය පුහුණුව සහ ජාත්‍යන්තර වෛද්‍ය සහයෝගීතාව සඳහා ද නව අවස්ථා රැසක් උදා කරයි. විදේශීය විශේෂඥයින් දුරස්ථව ශල්‍යකර්ම සිදු කරන ආකාරය සෘජුව නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ විශේෂඥ දැනුම හා අත්දැකීම් ලබාගැනීමට දේශීය වෛද්‍ය කණ්ඩායම්වලට මෙමඟින් අවස්ථාව සැලසේ.

    කෙසේ වෙතත්, මෙවැනි තාක්ෂණයක් පුළුල් ලෙස භාවිතයට ගැනීම සඳහා විශ්වාසනීය සන්නිවේදන ජාල, අවශ්‍ය නවීන උපකරණ සහිත රෝහල්, මනා පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායම් මෙන්ම පැහැදිලි නියාමන ක්‍රමවේද සහ ආරක්ෂක ප්‍රමිතීන් ද අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රථම ශල්‍යකර්ම දෙක තුළින් එවැනි තාක්ෂණයක් ප්‍රායෝගිකව භාවිත කළ හැකි බව තහවුරු වී ඇති අතර, එහි සැබෑ වැදගත්කම වන්නේ රෝගීන් ජීවත් වන ප්‍රදේශය කුමක් වුවද, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේවාවන් ඔවුන් වෙත වඩාත් සමීප කරවීමේ අනාගත හැකියාවයි.

    මෙය Kings Hospital Colombo රෝහලට පමණක් සීමා වූ ජයග්‍රහණයක් නොව, සමස්ත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. විශේෂිත ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී භූගෝලීය දුර තවදුරටත් බාධාවක් නොවන අනාගතයක් නිර්මාණය කළ හැකි බවට මෙමඟින් වැදගත් සාක්ෂියක් සැපයේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයෙකුට තම පදිංචි ස්ථානය නොසලකා උසස් විශේෂඥ වෛද්‍ය සේවාවන්හි ප්‍රතිලාභ ලබාගත හැකි අනාගත සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ හැකියාව ද මෙම ජයග්‍රහණය තුළින් පෙන්නුම් කරයි.