ඉන්දියාව ආවම වැඩියෙන් මුදල් ලැබෙනවා. අපේ ආණ්ඩුව ආවට පස්සේ ක්‍රිකට් කඩාවැටිලා – ඇමති අර්ජුන කියයි

    May, 30, 2018

    ශ්‍රී ලංකාවට මුදල් වැඩිවශයෙන් ලැබෙන්නේ ඉන්දියාව මෙරට ක්‍රිකට් තරඟයකට සහභාගී වන අවස්ථාවක දී බවත්, තමන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලැබීම පමණක් නොවන බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා වත්මන් කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වර්තමානයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද (30) දින කැඳවා තිබුණු මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. තවද 2015 වසරේ නව රජය පිහිටුවන අවස්ථාවේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව හොඳ මට්ටමක තිබුණු බව ද ඔහු අවධාරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙසේ පැවසීය.

    “අපේ ආණ්ඩුව ආවට පස්සේ ක්‍රිකට් අනව්‍යශ පරිපාලනයකට භාර දීලා, නීතිය උල්ලංඝනය කරලා, අපි කියපු දේවල් අහන්නේ නැතුව, ඒ විතරක් නෙමෙයි, මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා, අපි මේවයේ වැරදි පෙන්නලත් අද වෙන කොට මට ඇමතිවරයෙක් හැටියට ඉන්න මටවත් ඒකට මානව හිමිකම් කොමිසමෙන් උත්තරයක් එවන්න බැරි රටක් බවට අද පත්වෙලා තියෙනවා. මම ඒ ගැන කළකිරෙනවා.“

    “පරිපාලනයේ ඉන්න මනුස්සයෝ, මේ අයට මහත්වරු කියන්න බැහැ. මේ අය කියනවා ක්‍රිකට් ලාභ ලබනවා කියලා. විශේෂයෙන්ම මුදල් වැඩියෙන්ම හම්බුවෙන්නේ ඉන්දියාව මේ රටට එන කොට. රූපවාහනී ටෙන්ඩර් මගින් විශාල මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතිං ඒකෙන් ලබපු ලාභය ගැන මේ ගොල්ලෝ කතා කරනවා.“

    “හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ආයතනය ලාභ ලැබීම පමණක් නොවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාව උසස් තත්ත්වයේ රැක ගැනීම. ඒ තත්ත්යෙන් මේ ඉන්න පරිපාලනය ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒකට ආණ්ඩුවක් හැටියට අපි වග කියන්න ඕනේ. හිටපු ක්‍රීඩා ඇමතිතුමා සෘජුවම වගකියන්න ඕනේ.“

    පසුගිය දා මෙරට පවත්වන ලද නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය හරහා රුපියල් මිලියන 943 ක ශුද්ධ ලාභයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වූ බව එහි සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා කියා සිටියේය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී ඇති ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළ නැංවීමට ද ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.