ඉන්දියාව සමඟ එක්ව මාස 03 ක් තුළ මත්තල ගුවන්තොටුපළ ක්‍රියාකාරී තත්ත්වයට පත්කිරීමේ සැලැස්මක්

    March, 25, 2019

    “1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු වසර 51 ක් පුරා ශ්‍රී ලංකාවට දෙවන තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ රජය යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා. තවත් මාස තුනක් ගත වීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියත්, ඉන්දියාවත් එක්ව මත්තල ගුවන් තොටුපොළත් ක්‍රියාත්මක කරන තත්ත්වයට ගෙන ඒමට අපි කටයුතු කරනවා“, යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (24) හම්බන්තොට, මිරිජ්ජවිල   අපනයන සැකසුම් කලාපයේ යෝජිත මහා පරිමාණ ඛනිජ තෙල් පිරිපහදුව සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

    මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අධිකරණ හා බන්ධාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, මුදල් අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කර්මාන්ත හා වණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාහ් මහරූෆ්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.කේ. පියදාස, විජිත් විජයමුණි සොයිසා, ඕමාන් රජයේ තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් බින් හමාඩ් අල් රුම්හී (Dr Mohammed bin Hamad Al Rumhy), ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (Chang Xueyuan) යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.