ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් දිගුවෙයි – හිඟයක්දැයි සැකයක්

    November, 3, 2017

    මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් දක්නට ලැබෙන බව අද දෙරණ වෙත වාර්තා වෙයි. කෙසේ වෙතත් කුමන කරුණක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ දැයි නොදන්නා බව, අද දෙරණ කළ විමසීමක දී ඉන්ධන පිරවුම්හල් හිමියන් කිහිප දෙනෙකුම සඳහන් කරනු ලැබීය.

    මෙය වර්ජන තත්ත්වයක් හේතුවෙන් ඇති වූවක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

    ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි ඉන්ධන පිරවූ නැවක වූ ඉන්ධන බාල තත්ත්වයේ ඒවා වීම හෙතුවෙන් ඒවා ගොඩබෑමට අවසර නොදීමත්, එම නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ දී හිඟයක් ඇතිවිය හැකිබවට පැතිරී තිබෙන කටකතා මත ජනතාව මෙලෙස ඉන්ධන පිරවුම්හලවල පෝළිම් ගැසෙන්නට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඛනිජ තෙල් සංස්ථා නිලධාරියෙකු පැවසුවේ එවැනි අනිසි බියක් තබා ගැනීම අනවශ්‍ය බවත්, හෙට දිනයේ දී පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සුපුරුදු ලෙසින් සිදුකිරීමට නියමිත බවත්ය.