ඉන්ධන මිල අඩුකිරීමෙන් මහා භාණ්ඩාගාරයට අහිමිවන දැවැන්ත මුදල මෙන්න!

    January, 23, 2015

    ඛනිජ තෙල් මිල අඩුකිරීමට කපා දැමූ බදු හේතුවෙන් මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 65 කට ආසන්න මුදලක් අහිමිවන බවත් ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
    ඉන්ධන වෙනුවෙන් තිබෙන බදු රුපියල් බිලියන 40 කින් කපා දමන බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණත් රුපියල් බිලියන 65 ක් දක්වා බදු කපා දැමීමට රජය පියවර ගත්බව හෙතෙම සඳහන් කළේය.
    29 වනදාට රජය විසින් ඉදිරිපත් කරන අතුරු අයවැය මගින් රජයේ සමස්ත වියදම වැඩිකර නොමැති බවද අමාත්‍යවරයා කීය.

    මෙම අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩිකිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු අඩුකිරීම ඇතුළු සහන රැසක් ලබාදීමට සැලසුම් කර තිබේ.

    ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ මේ තුළින් ජංගම ගිණුමේ හිඟය (current account deficit) වැඩිවීමේ අවධානමක් තිබෙන බවයි.