ඉරාක ගැටුම් මැදත් තෙල් මිල වාර්තාගත ලෙස ආපසු හැරේ

    August, 14, 2014

    යුක්රේනයේ සහ ඉරාකයේ ගැටුම් ඇවිලීමේ අවධානමක් තිබියදී වුවද ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙන බව වාර්තාවේ. මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මාස නමයකින් පසුව ලෝක වෙළඳ පොළේ වාර්තාවූ අඩුම ඛනිජ තෙල් මිල මේ වනවිට වාර්තා වන බවයි.

    බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.70 ක් දක්වා අඩුවී තිබෙන අතර එය 2013 නොවැම්බර් මාසයට පසුව වාර්තා වන අඩුම මිලයි.

    පසුගිය ජූලි මාසයේදී ඛනිජ තෙල්මිල විශාල ලෙස ඉහළ යමින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 115.71 ක් දක්වා මාස නමයකට පසුව වාර්තා වූ වැඩිම මිල දක්වා ඉහළ ගොස් තිබුණේ ඉරාකයේ සිදුවූ ගැටුම් හේතුවෙනි.

    මේ වනවිට, ඛනිජ තෙල් මිල ගණන් අඩුවීම නිසා ධනවත් රටවලින් ඛනිජ තෙල් සඳහා තිබෙන ඉල්ලුම වැඩිවී තිබෙන බව වාර්තා වේ.

    ඉරාකය විසින් ලබන මාසයේදී බස්රා ලයිට් කෘඩ් නැමති බොරතෙල් බැරල් මිලියන 2.4 ක් ලෝක වෙළඳ පොළට සැපයීමට සූදානම් වන අතර එය ඊට ඉහත මාසයකදී සැපයූ බොරතෙල් බැරල් මිලියන 2.2 ඉක්මවා යයි.

    ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පවසා තිබෙන්නේ යුක්රේනයේ සහ ඉරාකයේ ගැටුම් තිබුණද ඇමරිකාව, ලිබියාව, සෞදි ආරාබිය යන රටවල් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවී තිබෙන බවයි.