උතුරේ රැකියා වියුක්තිකයන්ට ස්වයංරැකියා සඳහා රුපියල් මිලියන විස්සක්

    July, 24, 2018

    උතුරේ රැකියා වියුක්තියෙන් පෙළෙන ජනතාවට සහනයක් සළසමින් එම ජනතාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් මූල්‍යාධාර හා උපකරණ පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා (22 දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

    කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිවියට උදාන වැඩසටහනට සමගාමීව මෙම මූල්‍ය ආධාර සහ උපකරණ පිරිනැමිණි. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්වයංරැකියා වල නිරතවන හා ස්වයංරැකියා ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන රැකියා වියුක්තිකයන් පන්සීය හය දෙනෙකු (506) මෙලෙස ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා තිබුනු අතර ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන විස්සක හෙවත් කෝටි 2 ක මුදලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ඉල්ලීම මත කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මහජන බැංකුව හරහා ලබාදීමට කටයුතු කර තිබුණි.

    මේ යටතේ එක් ස්වයංරැකියා ලාභියෙකුට රුපියල් පනස්දහසේ සිට රුපියල් හැත්තෑපන්දහස දක්වා (50000 - 75000) මූල්‍ය ආධාරයක් ලබාදීමට පියවරගෙන තිබුණි. මහන මැෂින්, වඩු උපකරණ කට්ටල, අවන්හල් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය මූලික උපකරණ, මෙහිදී ස්වයංරැකියාලාභීන් අතර බෙදා දීමක්ද සිදුවිය.එමෙන්ම මෙම වැඩසටහන යටතේ විවිධ රැකියා සඳහා අවශ්‍ය වන වෘත්තීය පුහුනුවීම් ද ලබාදීමට කාර්මික සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබුනි.