උද්ධමනය සුළු වශයෙන් ඉහළ යයි

    August, 22, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවති සියයට 6.3 හි නොවෙනස්ව පැවතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ජූනි මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.4 හි සිට 2017 ජූලි මාසයේ දී දර්ශක අංක 122.4 දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් පහළ යෑම, මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය. ආහාර කාණ්ඩය තුළ පොල්, එළවළු, මාළු, අමු මිරිස්, සුදුළූණු සහ රතු ළූණු මිල ගණන් මාසය තුළ දී පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ, සෞඛ්‍ය උපකාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගනන් පහළ ගියේය. ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන (බස් ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයෙහි මිල ගණන් ඉහළ ගියේය. මධ්‍යසාර පාන හා දුම්කොළ (පුවක්) උපකාණ්ඩයෙහි ඇතුළත් අයිතමවල මිල ගණන් ද 2017 ජූලි මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික, අධ්‍යාපන සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයෙහි මිල ගණන් මාසය තුළ දී නොවෙනස්ව පැවතුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූනි මාසයේ දී පැවති සියයට 4.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේය.