උපරිම සුවපහසුවත්, ස්වභාවධර්මයේ අනන්‍යතාවත්, සාඩම්බර ඉතිහාසයක ප්‍රෞඩත්වයත් කැටිකර ගත් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය

    June, 19, 2016

    එදා-මෙදාතුර මිහිමත බිහි වූ රමණීය ම රාජධානියක් ලෙස සීගිරිය සමස්ත ලෝකවාසී ජනතාවගේ නොමඳ ආකර්ෂණය හිමිකර ගෙන ඇත. ශ්‍රී ලාංකේය උරුමය සහ රමණීයත්වය මනාව සංකලනය කරමින්, එම ප්‍රතාපවත් සීගිරිය රජ මාළිගයට මුහුණලා ඉදිකෙරුණු සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය ජුලි මාසයේ පටන් දෙස්-විදෙස් සංචාරකයන් පිළිගැනීමට සැදී පැහැදී සිටියි.

    වාද්දුව බ්ලූ වෝටර් හෝටලයේ හිමිකාරීත්වය දරන යුනියන් රෙසොර්ට් ඇන්ඩ් ස්පා සමාගමේ තවත් අපූර්ව පියවරක්වන මෙම හෝටලය, ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණයේ ඉපැරණි ජල මාර්ග සහ ඉදිකිරීම් රැසක් මැදිකොට අක්කර 35 ක වපසරියක් තුළ ඉදිකර ඇත.

    "දෙස්-විදෙස් ජනතාවට උපරිම සුවපහසුව පිරිනැමීම අපගේ ඉලක්කයයි. සුන්දර පරිසරයක විවේකය ගත කරමින් සීගිරිය රාජධානියේ සංස්කෘතික සහ කලාත්මක රසය අත්විඳීමට සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය කදිම තෝතැන්නක් වන බව අපගේ විශ්වාසයයි." යුනියන් ඇපරල් සමාගමේ සභාපති අජිත් විජේසේකර මහතා සඳහන් කළේය.

    හෝටලය අවට නිල්වන් තුරුලතාවන් හෝටලයට අවැසි නිස්කලංක බව සමගින් පුද්ගලිකත්වය ද හිමිකර දෙයි. හෝටලය විලා තිහකින් සමන්විතවන අතර ඒ සැමෙකක්ම උපරිම සුවපහසුව ලබා දීම සඳහා මනරම් ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමවේදයන් හා ප්‍රියජනක ඉඩ කළමනාකරන ක්‍රමවේද භාවිතා කරමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

    ජෙෆ්රි බාවාගේ අනුගාමිකයෙකුවන මෙරට කීර්තියට පත් ගෘහනිර්මාණ ශිල්පී චන්න දස්වත්ත මහතාගේ නිර්මාණශීලිත්වය මැනවින් ප්‍රකට කරන සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය, සෑම ආගන්තුකයෙකුට ම අසමසම සත්කාරයක් හිමිකර දීම වෙනුවෙන් විශේෂයෙන් සැලසුම්කර ඇත.

    හෝටලයට ම සුවිශේෂී වූ ආපණශාලාව නිදහසේ ආහාර-පාන ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාවෙන් සහ දිව පිනවන ආහාර-පානාදියෙන් පොහොසත්ය. සිය අභිමතය පරිදි දේශීය හෝ විදේශීය ආහාරවල රස බැලීමේ අවස්ථාව හෝටලයට පැමිණෙන ආගන්තුකයන් හට හිමිවන අතර, ආපණශාලාව තුළ ඇති අනගි පොකුරු පහන එහි සුවිශේෂීත්වය තවදුරටත් විදහා පායි.

    ඓතිහාසික ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ කැටිකොට ගත් හෝටලයේ බීමහල නිසංසල සැඳෑවක් ගත කිරීම සඳහා වඩාත් උචිත වේ. ආයුර්වේද සහ ආසියානු ඖෂධ සත්කාර ක්‍රමවේද රැසක් අත්විඳිය හැකි සම්බාහන මධ්‍යස්ථානය හැකියාපූර්ණ කාර්යමණ්ඩලයකින් සමන්විතය.

    මනරම් පරිසරයකින් වට වූ පිහිනුම් තටාකය සහ ව්‍යායාම මධ්‍යස්ථානය ආගන්තුකයන්ගේ ගතට සහ මනසට සුවය සලසයි. පූර්ණ පහසුකම්වලින් අනූන සම්මන්ත්‍රණ පරිශ්‍රයකින් ද සමන්විත බැවින්, ව්‍යාපාරික හමු සහ විශේෂ උළෙල සඳහා ද හෝටලය මනා සේවාවක් සපයයි.

    හෝටලය අවට ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමටත්, මාර්ගෝපදේශකයෙකුගේ මගපෙන්වීම යටතේ සෆාරි සංචාර සඳහා සහභාගී වීමටත් හෝටලයේ ආගන්තුකයන් හට හැකියාව ලැබේ.

    සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය, ස්වභාව සෞන්දර්යයත්, සීගිරිය රාජධානියේ ශ්‍රී විභූතියත්, ගතට සහ මනසට අවැසි උපරිම සුවපහසුවත් එකම වහලක් යටතේ හිමිකර දෙයි.