උපාධිධාරීන්ට විදේශ රැකියා අවස්ථා ලබා දෙමින් DIMO Academy සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

    March, 29, 2024

    DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics  සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.

    මෙම වසරේ ඩිප්ලෝමාලාභීන්  පිරිසකට  සිය උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රථමයෙන්, පිළිගත් ජර්මානු සමාගම් හතරක  විදේශ රැකියා අවස්ථා හිමිකර ගැනීමට හැකි වීම ඉතා සුවිශේෂී කරුණකි. DIMO Academy, මෝටර් රථ ක්ෂේත්‍රය සමඟ ඇති කරගෙන ඇති සහයෝගිතාවය සහ දිනෙන් දින වෙනස්වන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට සරිලන නිපුණ ශ්‍රම බලකායක් බිහිකිරීම සඳහා ඔවුන්ගේ කැපවීම මෙමඟින් පිළිඹිඹු වේ.

    DIMO හි විධායක අධ්‍යක්‍ෂිකා, ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ සමූහ ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය. "DIMO Academy විසින් නොමිලේ පිරිනමනු ලබන Automobile mechatronics  සහතික පත්‍ර පාඨමාලාව සහ බෙහෙවින් ප්‍රචලිත ජර්මානු Automobile mechatronics ඩිප්ලෝමාව මඟින් මෝටර් රථ ක්ෂේත්‍රයේ නිවැරදි කුසලතා ඇති ශ්‍රම බලකායක් බිහි කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඔවුන්ව ජාත්‍යන්තර වශයෙන් තාක්ෂණික කුසලතා සහ දැනුමෙන් සන්නද්ධ කිරීමෙන්, මෝටර් රථ කර්මාන්තය තුළ  ඔවුන්ගේ සාර්ථකත්වය  තහවුරු කිරීමට අපට හැකිවෙනවා."

    DIMO Academy,  එහි සුවිශේෂී ස්වයං ඉගෙනුම් ප්‍රවේශය මඟින්  සිසුන්ට ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය පදනම සකසා දෙයි. එසේම DIMO හි ඉහළ පෙළේ මෝටර් රථ සේවා මධ්‍යස්ථාන සහ ව්‍යාපෘති තුළින් කාර්මික ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි.

    DIMO Academy, අධ්‍යයන වාර විභාග ඇතුළුව තවත් ඇගයීම් සිදු කරන අතර සිසුන්ගේ කාර්ය සාධනය ඇගයීම කෙරෙහි සුවිශේෂී අවධානයක් දක්වයි. ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ස්වාධීන විභාග මඟින් මෙම අධීක්ෂණය තව තවත් ශක්තිමත් කරයි. තවද ජර්මානු ප්‍රමිතීන්ට අනුකූල උසස් තත්ත්වයේ වෘත්තීය අධ්‍යාපනයක්  DIMO Academy හි පුහුණුකරුවන් විසින් තහවුරු කරනු ලබයි. එසේම මෙම භාවිතයන් මඟින් දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීමට DIMO Academy හි කැපවීම පිළිබිඹු කරයි.

    DIMO Academy හි උපාධිධාරීන්ට DIMO හි සහ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තරව, විශේෂයෙන්ම ජර්මනිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ මැදපෙරදිග යන රටවල මෝටර් රථ ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය අවස්ථාවන් උදාකර ගැනීමට හැකියාව ලැබෙයි.

    1990 ආරම්භයේ සිට, DIMO Academy, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කරමින් මේ දක්වා සුදුසුකම් ලත් මෝටර් රථ කාර්මික ශිල්පීන් 600 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව බිහිකර ඇත. සිය 34 වසරක ඉතිහාසය තුළ, DIMO Academy ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් පිරිනමමින්, උසස් තත්ත්වයේ වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම තුළින් ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වනු ලබයි.