එක්ස්පෝලංකා, කොමර්ෂල් හා ජෝන් කීල්ස්, වෙත විදේශීය ආයෝජක ඇස

    May, 5, 2014

    මේ සතියේ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ධනාත්මක ස්වරූපයකින් ආරම්භ වූ අතර මිල දර්ශක දෙකම අද ඉහළ නැගුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 0.99 කින් ඉහළ ගොස් ඒකක 6,249.43 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 5.88 කින් ඉහළ ගොස් ඒකක 3,441.69 ක් විය.

    අද එයිට්කන් ස්පෙන්ස් කොටසක් සියයට 3.6 කින් ඉහළ ගොස් රුපියල් 103 ක්ද, ලයන් බෘවරි කොටසක් සියයට 3.5 කින් ඉහළ ගොස් රුපියල් 435 ක්ද, ලංකා ඔරික්ස් ලිසිං කොටසක් සියයට 2.5 කින් ඉහළ ගොස් රුපියල් 78 ක්ද වී තිබේ.

    දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.25 කි.  අද දිනයේ වෙළඳ පොළ පිරිවැටුමට රුපියල් මිලියන 271 ක වැඩිම දායකත්වයක් ලැබුණේ එක්ස්පෝලංකා සමාගමෙන් වන අතර කොටසක් රුපියල් 10.50 ක් වන ගිවිසගත් ගනුදෙනුවක් සමාගම විසින් සිදුකළේය. මීට අමතරව, සමාගමේ කොටස් මිලියන 20 ක් සාමාන්‍ය පුවරුවේද අද ගනුදෙනු විය.

    එසේම, දිනයේ පිරිවැටුමට එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 156 කින්ද, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 94 කින්ද දායක විය. මේ අතර, හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 0.13 ක් කොටසක් රුපියල් 158 බැගින් සහ ජෝන් කීල්ස් සමාගමේ මිලියන 0.18 ක කොටස් එකක් රුපියල් 235 ක් බැගින් ගිවිසගත් ගත් ගනුදෙනු  ලෙස හුවමාරු වූ අතර හේමාස් හෝල්ඩින්ග්ස් කොටස්  මිලියන 0.56 ක් එකක් රුපියල් 43 ක් ලෙස හුවමාරු වූයේද ගිවිසගත් ගනුදෙනුවක් ලෙසිනි.

    මේ අතර, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් කොටස් මිලියන 1.88 ක්ද කොටසක් රුපියල් 12 බැගින් ගිවිසගත් ගනුදෙනුවක් සිදුවී තිබේ.

    අද දිනයේදී විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 153 ක ශුද්ධ කොටස් මිලදීගැනීමක් කර තිබෙන අතර විදේශීය ආයෝජකයින් විසින් වෙළඳ පොළට මැදිහත්වීම සියයට 31 කි. විදේශීය ආයෝජකයින් විසින් එක්ස්පෝලංකා සමාගමේ රුපියල් මිලියන 117 ක කොටස්ද, කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 55 ක කොටස්ද, ජෝන් කීල්ස් සමාගමේ රුපියල් මිලියන 42 ක කොටස්ද මිලදීගෙන ඇත.

    අද විදේශිකයින් විසින් වැඩිපුර කොටස් විකුණා දැමුවේ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 149 කි.

    මේ අතර, අනාවරණය වන්නේ එක්ස්පෝලංකා සමාගමේ කොටස් මිලියන 10 ක් පමණ මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු අරමුදලක් බවයි.