එක්ස්පෝලංකා සමාගම  පශ්චාත්-COVID-19 සමයේ අපනයන කටයුතු යළි ඇරඹීමට උරදෙයි. ප්‍රථම භාණ්ඩ තොගය මත්තල ගුවන්තොටුපළින් ගුවන්ගත කෙරේ

    September, 2, 2020

    ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කාර්ය සම්පාදන සේවා සමාගමක් වන එක්ස්පෝලංකා ෆ්‍රෙයිට් (Expolanka Freight - EFL) සමාගම, පසුගියදා සාමාන්‍ය සහ නශ්‍ය භාණ්ඩ (Perishable Goods) තොග දෙකක් විදේශ රටවල් බලා පිටත් කිරීමට කටයුතු කළේ ය. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකරන ලද මෙම භාණ්ඩ යැවීම් සඳහා, විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා භාවිතා කරන ලද ගුවන් යානා යොදාගන්නා ලදි.

    2013 වසරේදී මත්තල ගුවන් තොටුපළ භාවිතා කරමින් භාණ්ඩ විදේශ රටවලට යැවු ප්‍රථම සමාගම මෙන්ම, COVID-19 වසංගත කාලය තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ප්‍රථම සමාගමද වන EFL සමාගම, මෙම අර්බුදකාරී කාලපරිච්ඡේදයෙන් අනතුරුව රටේ ආර්ථික තත්ත්වය නැවත නගාසිටුවීම සඳහා මෙලෙස දායක වෙමින් සිටී.

    2020 අගෝස්තු 9 දින විදේශගත ශ්‍රී ලාංකිකයන් රැගෙන පැමිණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානාවක් භාවිතා කරමින්, ඩුබායි හරහා එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ වෙළඳපොළවල් වෙත ටොන් 25 ක් බරැති භාණ්ඩ තොග යැවීමට EFL සමාගම කටයුතු කළේ ය.

    එමෙන්ම සලාම් එයාර් ගුවන් සේවය භාවිතා කරමින්, යාස් ලංකා (පුද්.) සමාගම [YAS Lanka (Pvt) Ltd] විසින් සපයන ලද ටොන් 4 ක පලතුරු හා එළවලු තොගයක් ඕමාන් වෙත යැවීමටද EFL සමාගම විසින් පියවර ගන්නා ලදි. මත්තල ගුවන් තොටුපළ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර මාර්ගස්ථ ප්‍රවාහන කටයුතු සිදුකරන ලද්දේ EFL සමාගමේ නශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂයෙන් යොදවා ඇති රථවාහන සහ සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති රථවාහන මගිනි.

    “මත්තල ගුවන් තොටුපළ හරහා භාණ්ඩ විදේශ රටවලට යවමින් රටේ භාණ්ඩ මෙහෙයුම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය දරන උත්සාහයට දායක වීමට අවශ්‍ය හැකියාව, විශේෂඥභාවය සහ ගෝලීය සම්බන්ධතා ජාලය සහිත ප්‍රථම හා එකම සමාගම බවට පත්වීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. මෙම මෙහෙයුම් මගින්, ශ්‍රී ලංකාව අපනයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේය යන වැදගත් පණිවිඩය ජාත්‍යන්තරය වෙත සන්නිවේදනය වනවා.

    “මේ වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා නන් අයුරින් සහය දුන් ගුවන් තොටුපළ බලධාරීන්, රේගු නිලධාරීන් සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු සියලුම දෙනාට අපගේ කෘතඥතාව හිමිවිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගන්නා අතරම රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ඉදිරියට ගෙනයාම සඳහා ඔවුන් ලබාදෙන සහයෝගය ප්‍රශංසනීයයි.” EFL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සයිෆ් යුසුෆ් මහතා පැවසී ය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, මත්තල ගුවන් තොටුපළ මෙරට ප්‍රධාන පෙළේ කෘෂි සැකසුම් කලාපයකට ආසන්නව පිහිටා ඇති නිසා, එය හරහා භාණ්ඩ විදේශයන්ට යැවීමේ කටයුතු පුළුල් කිරීම මගින් රටේ කෘෂිකර්මාන්තයට විශාල යහපතක් සිදුවනු ඇති බවයි. මෙමගින් දේශීය එළවලු, පලතුරු හා කිරි නිෂ්පාදකයන්ට වඩාත් පහසුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පිවිසීමට අවස්ථාව ලැබීමට ඉඩ තිබේ.

    COVID-19 වසංගත තත්ත්වයත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු සීඝ්‍රයෙන් පුළුල් වෙමින් පවතී. 2020 ජූනි සහ ජූලි මාස වලදී පමණක් මගීන් 2,188 දෙනෙකු රැගත් ගුවන් යානා 50 කට වැඩි සංඛ්‍යාවක් එම ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙලෙස පැමිණ ඇත්තේ ප්‍රධාන වශයෙන් විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් සහ නෞකා වල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් ය.

    එක්ස්පෝලංකා ෆ්‍රෙයිට් (Expolanka Freight - EFL) සමාගම යනු ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර භාණ්ඩ මෙහෙයුම් සමාගම් 30 අතරට එක්වී සිටින ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම විසඳුම් සමාගමකි. 1982 වර්ෂයේ ආරම්භ වූ එම සමාගමේ ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර, එය ඇඟලුම් හා තාක්ෂණික කාර්ය සම්පාදන ක්ෂේත්‍ර වල විශේෂඥ සමාගමක් ලෙස සැලකේ. මෑත කාලයේදී එම සමාගම ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජුව භාණ්ඩ යැවීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා සමාගම් සමග අත්වැල් බැඳගැනීමටද කටයුතු කර තිබේ.

    එක්ස්පෝලංකා ෆ්‍රෙයිට් යනු කාර්ය සම්පාදන, සංචාරක හා ආයෝජන යනාදී ක්ෂේත්‍ර ආවරණය කරන ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන එක්ස්පෝලංකා පීඑල්සී හි සාමාජික සමාගමකි. සීමිත කාර්ය සම්පාදන යටිතල පහසුකම් සහිත වෙළඳපොළ වලදී මතුවන අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සමත් වී ඇති එම සමාගම මේ වනවිට ලොව රටවල් 23 ක කාර්යාල 60 කට අධික සංඛ්‍යාවක් විවෘත කර ඇති අතර, 2300 කට අධික සාමාජික සාමාජිකාවන් පිරිසක් එම මෙහෙයුම් වලට සම්බන්ධ වී සිටිති.