‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ ණය යෝජනා ගැන ජනතාවට අවබෝධයක් නැහැ – කිරිඇල්ල

    July, 19, 2018

    රාජ්‍ය බැංකු හරහා  මේ වන විට  තම ගණුදෙනුකරුවන් වෙනුවෙන් ණය යෝජනා ක්‍රම 100ක් ක්‍රියාත්මක වන නමුත් මේ පිළිබඳ ව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, (18) මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ ණය ලබාදීම වෙනුවෙන් වු ණය කවුළුව විවෘත කිරීම හා මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට යෝජිත පිරිස් වෙත ණය මුදල් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අඳහසක් අනුව 2018 වසරේ අයවැය යෝජනාවක් ලෙසින් ආරම්භ කොට ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් මෙම වැඩපිළිවෙළ බැංකුව ගමට ගෙන යන වැඩපිළිවෙළක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    එපමණක් නොව මෙම වැඩසටහන ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබාදීමෙන් තරුණ ප්‍රජාව නඟාසිටුවීම සඳහා ගන්නා උත්සාහයක් යැයි ද මාධ්‍යවේදීන්, ඇඟලුම් කර්මාන්තකරුවන්, ගොවියන්, ස්වයං රැකියාලාභීන්, තරුණ උපාධිධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින් සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ණය ලබාදීමට කටයුතු කරමින් යන බවත් කීය.
    බැංකුවක් හරහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින බිය සැක දුරුකර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබාදිය යුතු බවත් ණය ලබාගැනීම වෙනුවෙන් පැමිණෙන්නන් සුහදව පිළිගෙන ඔවුන් වෙත ණය ප්‍රදානය කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී අමාත්‍යවරයා විසින් බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
    මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.