‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ නමින් එන සොරුන්ගෙන් ප්‍රවේශම්වන්න – මුදල් අමාත්‍යාංශය ඉල්ලයි

    July, 31, 2019

    රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන වෙත ලිපි යොමුකරන සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත.

    මෙම කණ්ඩායම් විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පොලී සහන ණය ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන්හට තමන් ඉල්ලා සිටි ණය අනුමත කර ඇති බව පවසමින් ඒ වෙනුවෙන් මූලික අත්තිකාරමක් ලෙස අපේක්ෂිත ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් මුදලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව පැවසේ.

    මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ණය නිකුත් කිරීමේ නිෂ්කාශන අංශයේ අධ්‍යක්ෂ යැයි පෙනී සිටිමින් ජයම්පති කරුණාමුණි නම් පුද්ගලයෙක් ද චන්ද්‍රා ජයසිංහ යන නමින් ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයකු ඇතුළු කණ්ඩායමක් ද මෙසේ ලිපි යොමුකර ඇති බවට සාක්ෂි මෙම අමාත්‍යාංශය වෙත දැනටමත් ලැබී ඇත.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබනුයේ ණය ඉල්ලුම්පත් ලියාපදිංචි කිරීම පමණි. ඒ හැර ණය නිකුත් කිරීම හෝ ඒ සඳහා නිර්දේශ ලබාදීම මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මුදල් අයකිරීමක් සිදු නොකරන බව මහජනතාව වෙත මෙයින් අවධාරණය කර සිටින අතර, ණය ලබාදෙනුයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙතින් පමණි. එබැවින් අදාළ බැංකු පරිශ්‍රය තුළ සේවය කරන නිත්‍ය කාර්ය මණ්ඩලය සමඟ පමණක් ණය ලබාගැනීම පිළිබඳ ගනුදෙනු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඔබට ණය අනුමත කර ඇති බව ප්‍රකාශ කරමින් යම් කිසි මුදලක් ලබා දෙන ලෙස කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ළගම ඇති  පොලිස් ස්ථානයට දැනුම් දෙන මෙන් මෙයින් දැනුම් දෙනු ලැබේ.

    මේ සම්බන්ධයෙන් මෙම නිවේදනයේ සඳහන් ව්‍යාජ පුද්ගලයන් විසින් ණය ගනුදෙනුකරුවන් වෙත යවාඇති වංචනික ලිපියේ පිටපතක් පහතින් දැක්වේ.

    (මෙය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)