එමිරේට්ස් සමූහය 2020-21 අර්ධ වාර්ෂික කාර්යසාධනය එළි දක්වයි

    November, 16, 2020

    2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් කිරීම හෝ සීමා කිරීමයි. කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එමිරේට්ස් සහ dnata හි ඩුබායි මධ්‍යස්ථානයද අපේ‍්‍රල් සිට මැයි මාසය දක්වා කාලය තුළ සති 08 කට මගී ගුවන් යානා අත්හිටුවීමට කටයුතු කරන ලදී.

    මේ අනුව, එමිරේට්ස් සමූහය 2020-21 අර්ධ මුදල් වසර සඳහා ඩිරාම් බිලියන 14.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක) ශුද්ධ අලාභයක් වාර්තා කර තිබේ.

    මෙම ගිණුම් වාර්තා පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. ‘අපි වර්තමාන මූල්‍ය වසර ආරම්භ කළේ ගෝලීය කොවිඞ්-19 වසංගතය නිසා සංචාරක සීමාවන් පනවා තිබූ කාලයකයි. සිවිල් ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තය මුහුණදුන් මෙම අසාමාන්‍ය තත්ත්වය නිසා වසර 30 කට පසුව පළමු වතාවට එමිරේට්ස් සමූහය අර්ධ වාර්ෂික අලාභයක් වාර්තා කර තිබෙනවා.’

    ‘මගීන්ගේ අඩුවීමත් සමග එමිරේට්ස් සහ dnata ඉතාමත් වේගයෙන් ගුවන් භාණ්ඩ හැසිරවීම වැඩි කිරීමටත් අනිකුත් අවස්ථාවන් වෙතත් නැඹුරු වුණා. මේ නිසා, අපගේ ආදායම් බින්දුවේ සිට පසුගිය වසරේ අදාල කාලය සඳහා වූ ආදායමෙන් 26% ක් දක්වා රැගෙන යාමට අපිට හැකිවුණා,’ යනුවෙන් ෂික් අහමඞ් මහතා පැවසීය: ‘අපිට අඛණ්ඩවම සහයෝගය දක්වන අපගේ මගීන්ට අපි ස්තූතිවන්ත වෙනවා. එසේම, ඩුබායි සිට ඉතාමත් ඉක්මනින් සහ ආරක්ෂාකාරීව සිවිල් ගුවන් සේවා සහ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට ඒකාබද්ධ සහයෝගයක් ලබාදුන් අපගේ පාර්ශවකරුවන්ටත් අපි මේ මොහොතේ ස්තූතිය පුද කරනවා. කිසිවෙකුටත් අනාගතය පුරෝකතනය කරන්න බෑ. නමුත්, අපි විශ්වාස කරන්නේ කොවිඞ්-19 එන්නත එළිදැක්වීමෙන් පසුව නැවතත් සංචාරක කර්මාන්තය වේගයෙන් හිස ඔසවනු ඇති බවයි. එම නැවත නැගී සිටීමට අවශ්‍ය සේවා සම්පාදනය කිරීමට අපි සූදානමින් සිටිනවා. මේ අතර, ඇති වෙමින් තිබෙන ඉල්ලූමට ප‍්‍රතිචාර දැක්වීම සඳහා එමිරේට්ස් සහ dnata මේ වනවිට සිය සම්පත් වෙන්කර තිබෙනවා.’
    2020 මාර්තු 31 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුළදී එමිරේට්ස් සමූහයේ සේවකයින් සංඛ්‍යාව 24% කින් අඩුකර තිබෙන අතර 2020 සැප්තැම්බර් 30 වනදා වනවිට සිටින සේවකයින් සංඛ්‍යාව 81,334 කි. මෙම සේවකයින් සංඛ්‍යාව අනාගතයේ බලාපොරොත්තු වන ව්‍යාපාරික ප‍්‍රමාණයට සාපේක්ෂව තබා ගැනීමට එමිරේට්ස් කටයුතු කර තිබේ.

    එමිරේට්ස් ගුවන් සේවය

    එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියමය පරිදි එමිරේට්ස් විසින් සිය මගී ගුවන් ගමන් කටයුතු 2020 මාර්තු 25 වනදා තාවකාලිකව අත්හිටවූ අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නැවතත් අන්තර් මගී හැසිරවීමේ කටයුතු සහ මගී ගුවන් සේවා කටයුතු සඳහා නැවත විවෘත වනතුරු අනිකුත් රජයන් සහ තානාපති කාර්යාල සමග ඉතාමත් සමීප සබඳතාවයක් පවත්වාගෙන යන ලදී. එසේම, ගුවන් සේවය සෞඛ්‍ය අංශ සමග එක්ව කොවිඞ්-19 වසංගතයෙන් තම ගනුදෙනුකරුවන්, සේවකයින් සහ ප‍්‍රජාව බේරාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය වත් පිළිවෙත් සිය ගුවන් යානා තුළ සහ ඉන් පිටත ස්ථාපිත කරන ලදී.

    මේ අනුව, එමිරේට්ස් විසින් මගී ගුවන් ගමන් කටයුතු නැවතත් 2020 මැයි 21 වනදා ආරම්භ කළ අතර සැප්තැම්බර් 30 වනදා වනවිට ගුවන් සේවය විසින් නගර 104 ක් වෙත මගී සහ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු ව්‍යාප්ත කරන ලදී.

    එමිරේට්ස් විසින් 2020 අපේ‍්‍රල් 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුළදී මගීන් මිලියන 1.5 ක් ප‍්‍රවාහනය කර තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 95% ක අඩුවීමකි. එසේම, ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය ටොන් මිලියන 0.8 ක්වූ අතර එය 35% ක අඩුවීමක් වුවත් ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනයෙන් ලැබූ ආදායම 106% කින් දෙගුණයකින් වර්ධනය විය. මෙය කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනයේ දකින්නට ලැබුණු අසාමාන්‍ය වෙළෙඳපොළ ලක්ෂණයක් වූ අතර මගී ගුවන් සේවා කටයුතු අඩු වීමත් සමඟ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු වල ප‍්‍රගතියක් මෙහිදී දැකගත හැකිවිය.

    මේ අනුව, පෙර වසරේ අදාළ කාලය තුල එමිරේට්ස් විසින් ප‍්‍රවාහනය කළ ගුවන් භාණ්ඩ ප‍්‍රමාණයෙන් 65% ක ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කිරීමට එමිරේට්ස් ගුවන් සේවයට හැකි වූ අතර මෙම නව වාතාවරණයට අනුගතවීමට සමාගමේ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහන අංශයට තිබෙන හැකියාව මෙයින් විදහා දැක්වුණි. 2020-21 මුල් අර්ධය තුළදී එමිරේට්ස් ගුවන් සේවය ඩිරාම් බිලියන 12.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක) අලාභයක් වාර්තා කළ අතර පෙර වසරේ අදාළ කාලය තුළදී ගුවන් සේවය ඩිරාම් බිලියන 862 ක (ඇමරිකානු ඩොලර් බිලියන 235 ක) ලාභයක් වාර්තා කර තිබුණි. මෙම කාලයේදී අනිකුත් මෙහෙයුම් ආදායම්ද ඇතුළත් වන එමිරේට්ස් ආදායම ඩිරාම් බිලියන 11.7 ක්වූ (ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක්) අතර එය පෙර වසරේ අදාළ කාලයේ ලැබූ ඩිරාම් බිලියන 47.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 12.9 ක) ආදායමට සාපේක්ෂව 75% ක අඩුවීමක් ලෙස දැක්විය හැකිය. මෙම ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලෝකය පුරා පැනවූ සංචාරක ගමන් තහනම් සහ සීමාකිරීම් වේ.

    dnata

    කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාරිභෝගික ගුවන් සමාගම් විසින් සිය ගුවන් ගමන් සීමා කිරීම සහ තාවකාලිකව අත්හිටුවීම මෙන්ම රටවල් විසින් සංචාරක සීමාවන් ප‍්‍රකාශයට පත්කිරීම නිසා ාබ්ඒ හි, ග‍්‍රවුන්ඞ් හැන්ඞ්ලින්, ගුවන් මගීන්ට ආහාර සැපයීම සහ ගමන් සේවා ව්‍යාපාරික කටයුතු වලට එම තත්වය ඉතාමත් අහිතකර ලෙස බලපාන ලදී.

    මේ අනුව, සලකා බලන කාල සීමාවේදී dnata හි, අනිකුත් මෙහෙයුම් ආදායම්ද ඇතුළත් වන ආදායම ඩිරාම් බිලියන 2.4 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 644 ක්) වූ අතර එය පෙර වසරේ අදාළ කාලයේදී වාර්තා කළ ඩිරාම් බිලියන 7.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.0 ක) ආදායමට සාපේක්ෂව 68% ක අඩුවීමකි.

    සලකා බලන මාස හයක කාලය තුළදී dnata හි, සමස්ත අලාභය ඩිරාම් බිලියන 1.5 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 396 ක්) වී තිබෙන අතර පෙර වසරේ අදාළ කාලයේදී ඩිරාම් මිලියන 311 ක (ඇමරිකානු ඩොලර් මිලියන 85 ක) ලාභයක් ලැබීමට සමාගම සමත්ව තිබේ. dnata හි, ජාත්‍යන්තර ව්‍යාපාරික ඒකකවල හානි පූරණය සඳහා වෙන්කළ ඩිරාම් මිලියන 689 ක මුදලද මෙම ගිණුම් වලට ඇතුළත් වේ.