එමිරේට්ස්, 2020 කලිනරි ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලාංකේය කණ්ඩායමේ ගුවන්සේවා පාර්ශවකරුවා වෙයි

    February, 12, 2020

    ජර්මනියේ පැවැත්වෙන 2020 ‘කලිනරි ඔලිම්පික්ස්’, තරඟාවලියෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන සූපවේදී කණ්ඩායමට ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, ගුවන් සේවා පාර්ශවකරුවා ලෙස සහයෝගය සහ ආශිර්වාදය ලබා දී තිබේ.

    සූපවේදී කලාව ප‍්‍රචලිත කරන්නෙකු ලෙස එමිරේට්ස් ගුවන් සේවය 25 වන කලිනරි ආර්ට් ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණය උදෙසා අනුග‍්‍රාහකත්වය දැකවීම මෙහිදී කැපී පෙනේ.

    මේ අනුව, 28 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජර්මනියේ ස්ටුට්ගාර්ට් හිදී 2020 පෙබරවාරි 14 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන කලිනරි ඔලිම්පික්ස් තරඟාවලියට සහභාගී වීමට EK655 ගුවන් සේවයෙන් ඩුබායි වෙතත්, ඩුබායි සිට ජර්මනියේ ෆ‍්‍රැන්ෆර්ට් බලා පිටත්විය. මෙම කණ්ඩායමේ කළමණාකාරීක්වය දරන්නේ රන් සම්මාන රැසක් දිනා තිබෙන කීර්තිමත් සූපවේදී, චොක්ලට් නිර්මාණකරු සහ අවන්හල් හිමියෙකු වන ජෙරාඞ් මෙන්ඩිස් මහතා විසිනුයි.

    මෙම සූපවේදීන් කණ්ඩායම ජාත්‍යන්තරව තරඟ කිරීමට සහාය ලබාදීමට අමතරව එමිරේට්ස් විසින් චොක්ලට් කාර්වින්ග්, සීනි මිශි‍්‍රත කාර්වින්ග්, පළතුරු සහ එළවළු කාර්වින්ග්, සීනි වලින් නිමැවූ ප‍්‍රදර්ශන භාණ්ඩ ඇතුළු මෙම ප‍්‍රදර්ශනයේ තනි පුද්ගල කාණ්ඩයේ තරඟ සඳහා අවශ්‍ය කිලෝ ග්රැම් 1000 කට අධික භාණ්ඩ ජර්මනිය වෙත ශ‍්‍රී ලංකාවේ සිට ප‍්‍රවාහනය කර තිබේ.

    මේ වසරේ කලිනරි ඔලිම්පික්ස් තරඟාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය ලබාදීම පිළිබඳව එමිරේට්ස් ගුවන් සමාගමේ ශ‍්‍රී ලංකාවේ අලෙවි කළමනාකරු, දේවිකා ඇල්ලේපොළ මහත්මිය මෙසේ අදහස් දැක්වීය. ‘ජනතාව, ස්ථාන සහ සංස්කෘතීන් ගෝලීයව සම්බන්ධ කරන්නෙකු ලෙස එමිරේට්ස් සෑමවිටම ආහාර සහ සංචාරක අත්දැකීම් කෙරෙහි විශාල උනන්දුවක් දක්වනවා. එමිරේට්ස් ගුවන් සේවය ගමන් ඇරඹූ පැරණි ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව මේ සඳහා විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙම ගෝලීය තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාවේ සහභාගීත්වයට සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’

    ‘කලිනරි ඔලිම්පික්ස් තරඟාවලියට සහභාගීවන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගුවන්සේවා පාර්ශවකරුවා ලෙස එමිරේට්ස් සහයෝගය ලබාදීම පිළිබඳව අපි විශාල ලෙස සතුටු වෙනවා. ගුවන් සමාගම ආහාර කලාව ප‍්‍රවර්ධනය කරන්නෙකු වීම මෙම සතුටට ප‍්‍රධානතම හේතුවක් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සූපවේදී ජෙරාඞ් මෙන්ඩිස් මහතා පැවසීය. ‘එමිරේට්ස් විසින් ශ‍්‍රී ලාංකේය රස ලෝකයට රැගෙන යමින් ලංකාවේ සුවිශේෂී ආහාර සහ තේ තම ගුවන් මගීන්ට පිළිගන්වනවා. මේ නිසා, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට දෙපාර්ශවයේ එක්වීම බොහෝ අර්ථාන්විත එකක් වනවා.’

    ශ‍්‍රී ලාංකේය සූපවේදී ක්ෂේත‍්‍රයට එමිරේට්ස් දක්වන සහයෝගය අළුත් දෙයක් නොවන අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එමිරේට්ස් සහ ඩිල්මා අතර වසර 27 ක බැඳීම සනිටුවහන් කරමින් ඩුබායි සිට ලන්ඩන් බලාගිය එමිරේට්ස් A380 ගුවන් යානයක් තුළදී ශ‍්‍රී ලංකා තේ අගයමින් වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය වසරේ මුලදී සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද ශ‍්‍රී ලංකාවාසීන් සමරන අවස්ථාවේදී කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ එමිරේට්ස් අංගනයේ මගීන් වෙත කොකිස් සහ අලූවා යන සාම්ප‍්‍රදායික රසකැවිලි වලින් සංග‍්‍රහ කිරීමටද එමිරේට්ස් කටයුතු කළේය.

    මීට අමතරව, ඉන්දියානු සාගර කළාපයේ සිට ලෝකය වෙත ගමන් කරන එමිරේට්ස් ගුවන් යානා තුළ පොල් රොටි, කිරිබත්, මාළු ඇඹුල්තියල්, මිරිසට හැදු කුකුළුමස්, පොල් සම්බල්, වටලප්පන් ඇතුළු ශ‍්‍රී ලාංකේය ආහාර පිළිගැන්වීම අමුතු දෙයක් නොවේ.