එලිෆන්ට් හවුස්, කීල්ස් සුපිරි වෙළඳසැල් සහ ජෝන් කීල්ස් පදනම සමග එක්ව අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමට සහාය වේ

    April, 14, 2020

    සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම (එලිෆන්ට් හවුස්) ජෝන් කීල්ස් සමූහයේ ජෝන් කීල්ස් පදනම සහ කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලය සමග එක්ව COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙලෙන බස්නාහිර පළාතේ හඳුනාගත් ප්‍රදේශවල නිවැසියන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් 10,000 ක් බෙදා දීමට පසුගියදා කටයුතු යෙදිය.

    ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්ක රාජ්‍ය නියෝජිතයන් සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මග පෙන්වීම යටතේ කොම්පඤ්ඤවිදිය, තිඹිරිගස්යාය, මට්ටක්කුලිය, කොලොන්නාව, ඔබේසේකරපුර, කඩුවෙල, රණාල සහ දෙමටගොඩ යන ප්‍රදේශවල හඳුනාගත් පවුල් සදහා නොමිලේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා දීම සිදුවිය. පවතින වසංගත තත්ත්වය තුලදී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ බෙදා දීම උදෙසා රජය ආරම්භ කර ඇති වැඩසටහන් සදහා දක්වන සහයෝගයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

    මීට අමතරව, ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එලිෆන්ට් හවුස් රණාල කර්මාන්තශාලාව අවට කඩුවෙල මහ නගර සභාව විසින් හඳුනාගෙන ඇති අඩු ආදායම්ලාභී පවුල් 500 කට ආසන්න පිරිසකට වියළි සලාක ඇසුරුම් බෙදා දීමටද එලිෆන්ට් හවුස් පසුගිය මාර්තු 29 දා කටයුතු යෙදිය.

    එසේම, රටේ පවතින තත්ත්වය මත පදනම්ව ජෝන් කීල්ස් පදනම,  කීල්ස් සුපිරි වෙළඳසැල් සහ එලිෆන්ට් හවුස් හරහා රජය සමග අත්වැල් බැද ගනිමින් මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවීමට පෙරමුණ ගෙන සිටියි.

    ජෝන් කීල්ස් පදනම යනු ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයයි. සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සහ ජේ කේ මාර්කටින් යනු කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සීහි පරිපාලිත සමාගම් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් සමූහය, 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දියුනුවෙහි හා සංවර්ධනයෙහි හවුල්කරුවෙකු ලෙස සිය අභිමානවත් 150 වන වසර සමරනු ලබයි. 14,000 කට අධික පිරිසකට රැකියාවක් ලබා දෙන JKH ආයතනය වසර 14 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සාමාජිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “හෙට සඳහා ජාතිය සවිබල ගැන්වීම” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර,  Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.