එළවළු වවන්න ආර්පිකෝ රු. මිලියන 40 ක ව්‍යාපෘතියක් දියත් කරයි. දඹුල්ලේ අක්කර 50ක මිරිස් වවන්නත් යයි

    June, 30, 2020

    ලියන්ගහවෙල ප්‍රදේශයේ, ටනල් භාවිතයෙන් එළවළු වගාකරීම සඳහා රු. මිලියන 40 ක ආයෝජනයක් කර ඇති බව රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා පවසයි. මිනුවන්ගොඩ නවතම ආර්පිකෝ සුපර් සෙන්ටර් ශාඛාව විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යද්දෙහිගේ මහතා මේ බව අනාවරණය කර සිටියේය.

    “මට අවශ්‍ය නැවුම් එළවළු සහ පළතුරු අඩුම මිලකට අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න. අපි ලියන්ගහවෙල රු. මිලියන 40 ක් යොදවලා, ටනල් යටතේ මේ එළවළු හදන්න, දැනට ප්ලෑන් කරලා තියෙනවා. ඒ අක්කර 4ක එළවළු අපේ සෙන්ටර්ස්වලට විතරක් ඇති. ලංකාවට දැන් වැඩියෙන්ම ඕනේ, පිටරටින් ගෙන එන එක නවත්තලා, අපේ මිනිස්සු හදන්න. දැන් ඒක තමයි අපි කරන්නේ. දඹුල්ලේ අක්කර 50ක් මිරිස් වවන්න යනවා. ඒවගේම බී ළූණු වවන්න යනවා“, යැයි ආචාර්ය සේන යද්දෙහිගේ මහතා පැවසීය. එසේම ඔහු වැඩිදුරටත් පැවසුවේ එය සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් බවත්, කිසිදු ආකාරයකින් රසායනික පොහොර භාවිත කිරීමක් සිදුනොකරන බවත්ය.

    මේ අතර මෙම මාසය තුළ දී කොච්චිකඩේ සහ මිනුවන්ගොඩ, ආර්පිකෝ සුපර් සෙන්ටර් දෙකක් විවෘත කිරීමට පියවර ගත් බව පැවසූ ඒ මහතා, මෙම වසර අවසන් වීමට පෙර 30 වන ආර්පිකෝ සුපර් සෙන්ටර් ශාඛාව කුණ්ඩසාලේ දී විවෘත කිරීමට කටයුතු කරන බව ද අනාවරණය කළේය.

    “අපි හැමවෙලාවෙම බලන්න ඕනේ, අපි කොහොමද පිටරටින් ගෙන්වන්නේ නැතුව හැමදෙයක්ම හදලා දෙන්නේ කියලා. රිචඩ් පීරිස්, ආර්පිකෝ එකේ අපේ දැනට තියෙනවා, ෆැමිලි බ්‍රෑන්ඩ්ස් 930 ක් විතර. ඒවා සාමාන්‍ය මිලට වඩා සියයට 10 ක් විතර අඩුයි. එකම ප්‍රමිතිය තියෙන්නේ. ඊළඟ එක තමයි අපි බලන්නේ, අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ පිටරටින් එන දේවල් නවත්වලා අපිම නිෂ්පාදනය කරන එක. අපේ ඊළග සැලැස්ම තමයි Processed fruits manufacturing“, යනුවෙන් රිචඩ් පීරිස් සභාපතිවරයා කියා සිටියේය.

    ඡායාරූපය - ආචාර්ය සේන යද්දෙහිගේ මහතා මිනුවන්ගොඩ ආර්පිකෝ සුපර් සෙන්ටර් විවෘත කිරීමෙන් පසු