ඔක්තෝබරයේ සංචාරක පැමිණීම 8.8% කින් නගී

    November, 5, 2015

    2014 වසරේ ඔක්තෝබර් මාසය හා සන්සන්දනය කිරීමේ දී පසුගිය මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව පසුගිය මාසයේ දී සංචාරකයින් 132,280 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී 2014 ඔක්තෝබරයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 121,576 කි.

    වසරේ පළමු මාස 10 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 1,448,119 ක් බව එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. එය 2014 වසරේ පළමු මාස 10 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වන 1,228,754 හා සැසඳීමේ දී 17.9% ක වර්ධනයකි.

    ගෙවී ගිය මාසය තුළ දී උතුරු ඇමරිකානු කලාපයෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 1.3% කින් ඉහළ ගොස් තිබෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 8.5% කින් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් කැනඩාවේ සිට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 17.9% කින් පසුගිය මාසයේ දී වර්ධනය වී තිබේ.

    ඔක්තෝබර් මාසය තුළ දී බටහිර යුරෝපියානු රටවලින් පැමණි සංචාරකයින්ගේ ගණන 14.6% කින් වැඩි වී තිබේ. එහි දී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවලිනි. කෙසේ වෙතත් නැගෙනහිර යුරෝපියානු රටවල සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසය තුළ දී 3.2% කින් පහළ ගොස් තිබේ. රුසියාවේ පවතින ආර්ථික අවපාතය හා යුක්‍රේනයේ පැන නැඟී තිබෙන අර්බුදකාරීත්වය මීට බෝහෝ දුරට හේතු වී තිබේ.

    වසරේ පළමු මාස 08 තුළ දී සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇදී ආ විනිමය ඩොලර් බිලියන 1.87 ක් ලෙසින් වාර්තා වන අතර එය පසුගිය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 17.1% ක වර්ධනයකි. 2014 වසරේ දී ශ්‍රී ලංකාව සැලසුම් කර තිබූ සංචාරකයින් 1.5 සීමාව අභිබවා යාමට සමත් වූ අතර එහිදී ලැබූ මුළු විදෙස් ආදායම ඩොලර් බිලියන 2.206 කි.

    මෙම වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2 සීමාව ඉක්මවීම හා 2106 වසරේ දී එය මිලියන 2.5 දක්වා වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ඉලක්කයයි.