ඔටාරා සිංගර් අධ්‍යක්ෂ මණ්ඩලයට

    August, 6, 2018

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගිය අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසින් පත් කර තිබේ.

    1877 දී ඇරඹි සිංගර් (ශ්‍රී ලංකා) සමාගමේ වසර 140 කට අධික ගමන් මග තුළ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ පළමු කාන්තාව ලෙසින් ද ඔටාරා ගුණවර්ධන මහත්මිය ඉතිහාස ගත වනු ඇත.

    ශ්‍රී ලංකා විලාසිතා කර්මාන්තයේ පුරෝගාමී නාමයක් වන ඔඩෙල් හි නිර්මාතෘවරිය වන ඇය, සිය ඔඩෙල් සමාගම 2010 වසරේ දී ලැයිස්තුගත සමාගමක් බවට පත් කරනු ලැබුවේ මෙටර ඉතිහාසයේ සමාගමක් ලැයිස්තුගත කරන ලද ප්‍රථම ව්‍යවසායිකාව බවට ඉතිහාසයට එක් වෙමිනි.

    වසර 25 ක දැඩි උත්සාහයකින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා නිවහන බවට ඔඩෙල් පත්කරලන්නට ඔටාරා සමත් වූ අතර මෙම ගමනෙහි නිමාව සනිටුහන් කරමින්, 2014 වසරේ දී ඔඩෙල් පීඑල්සී හි තමන් සතු කොටස් හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් පීඑල්සී වෙත විකුණා දැමීමට ඇය විසින් පියවර ගනු ලැබුවාය.

    ඔඩෙල් වකවානුවේ දීම ඔටාරා විසින් ආරම්භ කරන ලද වීදි සුනඛයින්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ එම්බාර්ක් ව්‍යාපෘතිය තවදුරටත් ඇයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.