ඔබට තවත් රටක පුරවැසිභාවය අවශ්‍යය ද? පුරවැසිභාවය මුදලට ලබා ගත හැකි හොඳම රටවල් 10 මෙන්න

    May, 24, 2016

    යම් රටක පුරවැසියෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමේ දී දීර්ඝ කාලීන ක්‍රියාපටිපාටියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් Premier Offshore වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි 2016 වසරේ දී මුදල් ආයෝජනය තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි රටවල් 10 ක් අනාවරණ කර තිබේ.

    එසේම යම් පුද්ගලයෙකුට දෙවන පුරවැසිභාවයක් ලබා ගැනීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභ ගණනාවකි. නිදසුනක් ලෙසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු හට බල්ගේරියාව තුළ මුදල් ආයෝජනය කිරීමෙන් බල්ගේරියානු පුරවැසිභාවය ලැබීමේ අවස්ථාව හිමිවනු ඇත.

    ලොව ගමන්බලපත්‍ර ශ්‍රේණිගත කිරීමෙහි 18 වන තැන බල්ගේරියානු ගමන් බලපත්‍රයට හිමිය. එමගින් රටවල් 149 ක් වෙත වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමිවනු ඇත. එසේම බල්ගේරියානු ගමන් බලපත්‍රයට එක්සත් ජනපදයෙහි මාස 6 ක් තුළ දින 90 ක් වීසා නොමැතිව ගතකිරීමටත්, යුරෝපීය සංගමය තුළ ඕනෑම රටක ජීවත් වීමට හා රැකියාවක් කිරීමටත් අවස්ථාව උදා වේ.

    පහත දැක්වෙන්නේ මුදල් වියදම් කිරීම තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි ලොව හොඳම රටවල් 10 යි.

    1. බල්ගේරියාව
    බල්ගේරියානු ගමන් බලපත්‍රයක් ලෙහෙසියෙන්ම ලබා ගත හැකි ක්‍රම දෙකකි. මෙහි පළමු වැන්න නම් බල්ගේරියානු රජයේ බැඳුම්කරවල යූරෝ 512,000 ක් ආයෝජනය කිරීමයි. වරක් එසේ කළ පසු බල්ගේරියාව තුළ වාසය කිරීමේ (residency) අවස්ථාව හිමිවන අතර හරියටම ඊට වසරකට පසු තවත් යූරෝ ලක්ෂ 512,000 ක් බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් බල්ගේරියාවේ පුරවැසිභාවය ලබාගත හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් වසර 5 ක් පුරාවට බල්ගේරියානු රජයේ බැඳුම්කරවලට පොළියක් හිමි නොවීමයි.

    මීට අමතරව ඩොලර් මිලියන 1.2 ක ව්‍යාපාරික ආයෝජනයක් කිරීම හරහා ද බල්ගේරියාවේ පුරවැසිභාවය ලැබිය හැකිවේ.

    බල්ගේරියානු ගමන් බලපත්‍රයකට හිමිකම් කීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභවලින් කිහිපයක් ඉහත දක්වා තිබේ.

    2. ශාන්ත ලුසියා
    ඩොලර් ලක්ෂ 2 සිට දෙලක්ෂ පනස්දහසක් දක්වා මුදලක් වැයකිරීමෙන් ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය. මීට අමතරව ඩොලර් පන්ලක්ෂයක් එහි රජයේ සුරැකුම්පත්වල වසර 5 ක කාලයක් දක්වා ආයෝජනය මඟින් ද ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු විය හැකිවේ.

    ශාන්ත ලුසියා ගමන් බලපත්‍රයක් මඟින් රටවල් 121 කට වීසා නොමැතිව පියාසර කළ හැකිවේ. වීසා නොමැතිව ස්විස්ටර්ලන්තයට ද, දින 180 ක කාලයක් යුරෝපීය සංගමයේ ෂෙනගන් කලාපය තුළ ද සැරිසරීමේ අවස්ථාව මෙම ගමන් බලපත්‍රයට හිමිය.

    3. මෝල්ටා
    මෝල්ටා ගමන් බලපත්‍ර හිමියෙකුට යුරෝපානු සංගමයේ ඕනෑම රටක වාසය කිරීමේ හා රැකියාවක නිරත වීමේ අවස්ථාව හිමිවන අතර වීසා නොමැතිව ඇමරිකා එක්සත් ජනපදයට ද ගමන් කළ හැකිවේ. ලොව ශ්‍රේණිගත කිරීම් හි 8 වන තැන මෝල්ටා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 166 කට වීසා නොමැතිව ගමන් කළ හැකිවේ.

    මෙවැනි බලසම්පන්න ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු වීමට ඔබත් කැමති නම් ඒ සඳහා වැය කළ යුතු වන්නේ ඩොලර් මිලියන 1.85 ක් පමණි. එම ගාස්තුව ගෙවා මෝල්ටාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඔබට හැකිය.

    4. සයිප්‍රස්
    සයිප්‍රසය තුළ යූරෝ මිලියන 2.5 ක් ආයෝජනය කිරීම මගින් ඔබේ දෙවැනි පුරවැසිභාවය ලබා ගත හැකි අතර අනෙකුත් සයිප්‍රස් වැසියන් ලබන සියලූම වරප්‍රසාද සඳහා ඔබ එහිදී සුදුසුකම් ලබනු ඇත.

    5. ඔස්ට්‍රියා
    ඔබට මුදල් පිළිබඳ ගැටළුවක් නොමැති නම් ඔස්ට්‍රියා පුරවැසිභාවය ඔබට ස්වර්ණමය අවස්ථාවන් උදාකරලනු ඇත. ලොව සිව්වැනියට බලගතු ගමන් බලපත්‍රය ලෙසින් ඔස්ට්‍රියා ගමන් බලපත්‍රය පිළිගැනෙන අතර රටවල් 171 කට වීසා නොමැතිව ගමන් කිරීමට තරම් එය ප්‍රබලය. යූරෝ මිලියන 2 ත් 4 ත් අතර පරිත්‍යාගයක් කිරීමෙන් හෝ ඔස්ට්‍රියාවේ අනුමත ව්‍යාපාරයක යූරෝමිලියන 10 ක් ආයෝජනය කිරීම තුළින් ඔස්ට්‍රියා ගමන් බලපත්‍රයකට සුදුසුකම් ලබාගත හැකිය. මේ සඳහා ඩොලර් පන් ලක්ෂයක පමණ ගාස්තු ගෙවීමට ද ඔබට සිදුවනු ඇත.

    6. රුසියාව
    ඩොලර් 165,000 ක ආයෝජනයකින් පමණක් රුසියාවේ දෙවැනි පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසුකම් ලැබිය හැකිය. මෙහිදී ඔබ කළ යුතු වන්නේ රුසියාව තුළ ව්‍යාපාරයක් ආරම්භ කර එහි නම් කරන ලද අවම වැසියන් ප්‍රමාණයකට රැකියා අවස්ථා සම්පාදනය කර දීම හා රුසියානු රජයට බදු ආදායම් ජනනය කරදීමයි.

    රුසියානු ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම් හි 38 වැනි ස්ථානයේ පසුවන අතර එමගින් රටවල් 100 කට වීසා නොමැතිය ගමන් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

    7. ඩොමිනිකා
    අඩුම මුදලකට දෙවන පුරවැසිභාවය ලැබිය හැකි රට ලෙසින් ඩොමිනිකා රාජ්‍යය හැඳින්විය හැකිය. ඩොලර් 350,000 කට අයදුම්කරු, ඔහුගේ බිරිඳ හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් දෙදෙනෙකුට පහසුවෙන් ඩොමිනිකා හි ආර්ථික පුරවැසිභාවය (Economic Citizenship) ලබා ගත හැකිය.

    ලොව ශ්‍රේණිගත කිරීම් හි 41 වන තැන ඩොමිනිකා ගමන් බලපත්‍රයට හිමි අතර එමඟින් රටවල් 91 කට වීසා නොමැතිව ගමන් කිරීමේ වරප්‍රසාදය හිමිවනු ඇත.

    8. ඇන්ටිගුවා සහ බාර්බඩෝස්
    ඩොලර් 275,000 ක පරිත්‍යාගයක් හෝ එහි දේපළවල ඩොලර් 550,000 ක ආයෝජනයක් කිරීම ඇන්ටිගුවා හි පුරවැසිභාවය ලබා ගත හැකි පහසුම ක්‍රමයයි. මේ සඳහා තවත් ඩොලර් 60,000 ක ගාස්තුවක් ගෙවීමට ද ඔබට සිදුවනු ඇත.

    ලොව ශ්‍රේණිගත කිරීම් හි 24 වැනි ස්ථානය ඇන්ටිගුවා ගමන් බලපත්‍රයට හිමි අතර රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඉන් අවස්ථාව ලබා දෙනු ඇත. කැනඩාව වෙත ද වීසා නොමැතිව ගමන් කිරීමට තරම් ඇන්ටිගුවා ගමන් බලපත්‍රය ප්‍රබලය.

    9. ශාන්ත කිට්ස් සහ නේවිස්
    ශාන්ත කිට්ස් හි සීනි අරමුදලට (Sugar fund) ඩොලර් 295,000 ක් පරිත්‍යාග කිරීමෙන් හෝ එහි දේපළවල ඩොලර් 500,000 ක් ආයෝජනය කිරීම තුළින් වහාම එහි ගමන් බලපත්‍රහිමියෙකු වීමට ඔබට අවස්ථාව උදා වේ. එමඟින් රටවල් 132 කට වීසා නොමැතිව ගමන් කිරීමට ඔබට හැකිවනු ඇත.

    10. ග්‍රෙනේඩා
    2014 වසරේ දී ග්‍රෙනේඩා හි දේපළ ආයෝජනය තුළින් පුරවැසිභාවය ලබා ගත හැකි අවස්ථාව යළි හඳුන්වා දුන් අතර 2001-2013 කාලයේ දී එය අත්හිටුවනු ලැබීය. රට තුළ අනුමත දේපළ ව්‍යාපෘතීන් හි ඩොලර් 250,000 ක් පමණක් ආයෝජනය තුළින් ඔබට එහි පුරවැසිභාවය ලැබිය හැකිවනු ඇත.

    එක්සත් රාජධානිය, හොංකොං, දකුණු කොරියාව, සිංගපූරුව, පැනමා හා පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ඇතුළු රටවල් 110 කට ගමන් කිරීමට ග්‍රෙනේඩා ගමන් බලපත්‍රහිමියන්ට අවස්ථාව උදා වනු ලැබේ.