ඔබේ ගමන් බලපත්‍රය නැති වුණාද ? මෙන්න විසඳුම

    June, 19, 2014

    සොරකම් කර තිබෙන හෝ නැතිවී තිබෙන විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳව කටයුතු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙන අතර එවැනි ගමන් බලපත්‍ර පිළිබඳව එම ඒකකයට දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

    මේ අනුව, විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරකම් කළ විට පොලීසියට පැමිණිලි කරන ලෙසත් එම පැමිණිල්ලේ පිටපත සමග ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට දැනුම් දෙන ලෙසත් සඳහන්ය.

    එහිදී, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව එම ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ඇත.

    විදේශ රටකදී ගමන් බලපත්‍රය නැතිවුවහොත් එරට පොලීසියට ඒ බව පැමිණිලි කර ඒ පිළිබඳව මෙරට තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙන අතර නැතිවන ගමන් බලපත්‍ර වෙනත් පුද්ගලයින් අතට පත්වීමෙන් සිදුවිය හැකි අයථා ක්‍රියා මගහැරවීම මෙම වැඩසටහනේ අරමුණයි.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගමන් බලපත්‍රයක් නැතිවූවා යැයි දැනුම් දීමෙන් පසුව එම ගමන් බලපත්‍රය නැවතත් භාවිතා නොකරන ලෙසයි.