ඔබේ ණය තොරතුරු රහස් අංකය ගත්තාද ?

    March, 12, 2014

    තම පුද්ගලික ණය තොරතුරු වාර්තා ගනුදෙනු කරුවන්ට අන්තර් ජාලයෙන් ලබාගැනීමට  පසුගියදා අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය එම වැඩසටහන තවදුරටත් විධිමත් කිරීමට කටයුතු කරමින් තිබේ.

    මේ වනවිට හඳුන්වාදී තිබෙන ක්‍රමය වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයට ගනුදෙනු කරුවාම පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර අන්තර් ජාලය ඔස්සේ තම ණය තොරතුරු වාර්තාව ලබාගැනීමට අවශ්‍ය රහස් අංකය ලබා ගැනීමයි.

    “අපිට පෙනී ගොස් තිබෙනවා, සෑම ගනුදෙනු කරුවෙකුටම මේ ආකාරයට ණය තොරතුරු කාර්යංශයට ඒමට අපහසු බව. මේ නිසා, අපි ණය තොරතුරු කාර්යංශයට නොපැමිණ මෙම රහස් අංකය ගනුදෙනු කරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අවධානය යොමුකර තිබෙනවා.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ සාමාන්‍යාධිකාරී, ගාමිණී කරුණාරත්න මහතා අප සමග සඳහන් කළේය.

    අන්තර් ජාලයෙන් ණය තොරතුරු වාර්තා ලබාගැනීමේදී මුල් වාර්තාව නොමිලේ ලබාගත හැකි අතර ඉන් පසුව ලබාගන්නා සෑම පිටපතක් සඳහාම රුපියල් 250 ක මුදලක් අය කරයි.

    “සෑම ගනුදෙනු කරුවෙකුම තමාගේ ණය තොරතුරු වාර්තාව නිතර බැලීමට පුරුදු විය යුතුයි. එවිට තමාගේ ණයවල තිබෙන අඩුපාඩුකම් තමාටම අවබෝධ කරගත හැකියි. එවිට වඩාත් දැනුවත් ගනුදෙනු කරුවන් බිහිවෙනවා.“

    යනුවෙන් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය සතුව මේ වනවිට ගනුදෙනු කරුවන් ලක්ෂ 50 කගේ පමණ ණය තොරතුරු වාර්තා තිබෙන අතර මූල්‍යායතනයකින් ණය මුදලක් ලබාගැනීමට ගිය විට ණය තොරතුරු වාර්තාවට ඉහළ වැදගත් කමක් හිමිවේ.